වෙනස්වීම ඇරඹේන්නේ වෙනස් කිරීමත් සමගය. සමනළ
තටුවක ගැස්ම යමදිනක අත්ලාන්තික් සාගරයේ මහා කුණාටුවක් ඇතිකිරීමට සමත්වනු ඇත. ඉතිං
මම අද මල් බිම නොදමමි. වමතින් මල් මෘදුව ගුලිකරගෙන සිත සමග පොරබදමින් නොනවත්වා
ගමන්කරමි.
ලන්ද අවසානයේදී කිටිකිටියේ වල් වැවුණු අඩිපාර ද
අවසන්වේ. ඉන්පසු මා අඩි අටක් දහයක් පමණ පළල අලුත කැපූ පස් පාරට අවතීර්ණවෙමි. අලුත්
වැස්සට පෙඟුණු සැහැල්ලු පසේ හරක් රංචුව ඇවිද ගොස් ඇත. ඔවුන්ගේ කුරවලට පෑගී තැන්
තැන් වල වැහි වතුර පිරී ඇත. මේ මං දන්නා කියන හරකුන් ය. උන් පස් හයදෙනා මම වෙන්
වෙන්ව හඳුනමි. ගවයින්ගේ අයිතිකරුවන් මගේ මාපියන් දැන හඳුනන අය වෙති. ඔවුන්ගේ
දරුවන් මා දන්නා හඳුනන අය වුවද මිතුරන් නොවෙති. දැන හැඳිනීමත් මිතුරුකමත් අතර
සලකියුතු වෙනසක් ඇත.
මා කුඩා කල සිට මේ ගවයින් ලන්දේ දී දුටුවිට හෝ
අපේ වත්තට ආ විට විසාල බාල්දියක දමා වතුර බොන්නට දෙමි. විටෙක එකෙකු එක හුස්මට වතුර
බාල්දියෙන් අඩක්ම බොයි. ඉන්පසු හිස ඔසවා මා දෙස සැකයෙන් බලයි. නැවත හිස සම්පුර්ණයෙන්මවාගේ
බාල්දියේ ඔබාගෙන ඉතිරියත් බොයි. එවිට මගේ සිත ‘දාරක’ ප්‍රීතියෙන් පිරී පිම්ඹීයයි. මා
බාල්දිය නැවත නැවත පුරවමි, ඒ දියෙන් නොව මගේ සතුටෙනි. ඒ අතර විටෙක හනික බිඳගත්
මයියොක්කා අත්තක් හෝ දඩස් අත්තක් උන්ගේ හොඹු ඉදිරියෙන් අල්ලමි. නිරන්තරයෙන් වාෂ්ප
පිඹින විශාල තෙත නාසාපූට දෙසත් රවුමට කරකවා අතුකැබලි අල්ලාගතහැකි උන්ගේ දම්පාට දිවවල් දෙසත් මහත් භීතියෙන්
බලාසිටිමි.
මා මේ සතුන්ට කෑම බීම දුන්නේ කොහෙත්ම උන්ගේ
අසරණ කම නිසා උපන් අනුකම්පාව, කරුණාව, හෝ මෙළොව-පරළොව සියළු සැප කෙළවර අමාමහ නිවන්
ෂෝර්ට්-කට් එකකින් ලඟාකරගනු පිණිස පිං සලකා නොවේ. ඒ හුදෙක් තිරිසන් සතුන් දැකීමත් උන් මට
කීකරුව මා දෙන දේ කෑමත් බීමත් මා ඒ අවස්ථාවේදී ම සතුටට පත්කල නිසාම පමණි. ඉඳහිට උන්ගෙන් එකෙකු මට අනින්ට තැත්කල විට
හෝ මා එසේ සැකකලවිට, නොවලහා ගල් මුල් හෝ අතට හසුවුණු දෙයකින් පහරදී උන් එලවා ගැනීම මගේ සිරිතයි. එවන් අවස්ථාවලදී අහසේ පාවීයන ගල් මුල් උන්ගේ බඳේ වැදී නැගෙන බොල් හඬින් මා ඉමහත් තෘප්තියට
පත්වෙමි. අසීමිත ආදරයක්, කරුණාවක්, හෝ ඉවසීමක් පෑමෙන් හරක්ටික ‘නරක්කරන්නට’ මට කොහෙත්ම වුවමනාවක් නැත. ඉතිං මා ඉඳහිටවත් පෙණය පුප්පමි.
අපේ සබඳකම් වලින් දෙපාර්ශවයටම යම්තරමකටවත් සුගතියක් හෝ ප්‍රතිලාභයක් තිබිය යුතුය.
ඉතිරිය පසුව කියමි...
හරිත
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කතාවකට තේරුමක් තිබියයුතුයැයි උගන්වා තිබුනද කිසිම කතාවක තේරුමක් ඇතැයි මා විශ්වාස නොකරමි. හැපී බිඳී බුබුළු නංවමින් පහළින් පහළටම ස්වභාවිකව ගලායන දියපහරකට තේරුමක් තිබීමේ අවශ්‍යතාව කුමක්ද?. එහි ගැබ්ව ඇත්තේ වින්දනය කළහැකි හෝ විඳවියහැකි විඳීම ම පමණි. ඉතිං තේරුමක් ඇතත් නැතත් මේ කතාවද මහ පොලොව මතින් නිරතුරුව වෙනස්වෙමින් ගලන දියපහරක් සේ නිරන්තරයෙන් එකිනෙකට වෙනස් හැඟීම් උපදවමින් කාලය මතින් ගලායනු ඇත.
[හරිත,
ගඳපාන මල් කිණිති,
සහ දිනිති]