ගෙදර සිට පුස්තකාලයට යන කෙටි පාර දෙපැත්තේ
උසට වල් වැවී ඇත. තැන තැන එරමිනියා කටු පඳුරුය. ඒවා දම්පාට කුඩා ගෙඩි වලින් පිරී
ඇත. කිහිප වර්ගයක කුඩා කුරුල්ලන් රණ්ඩු කරමින් තරඟයට ඒවා කති. ඔවුන් ඉන් බොහෝසේ
සතුටට ද තෘප්තියට ද පත්වෙතැයි මම සිතමි. කෙනෙකු
තුන්හිතකින් වත් කෑ හැකියැයි නොසිතන මේ කුඩා ගෙඩි විටෙක දෙකක මා ද රසබලා ඇත්තෙමි. එකල කුඩා
මා එයින් සතුටට පත්නොවුව ද, වැර-වෑයමින් මට ඒවා කන්නට පෙලඹවූ මගේ කුඩා මිතුරියගේ
සතුට මා බෙහෙවින් සතුටට පත්කළේය. මේ කුඩා ගෙඩි වටා මහත්වූ ප්රසන්න මතකයක් මට ඇත.
අප අතර ඝන බූටෑවක් නොවන්නට මමද කුරුල්ලන්ට එකතුවෙමි, සතුට බෙදාගනිමි. සතුට බෙදාගත්කල ගුණ වේ.
ගඳපාන මල් යායට පිපීඇත දම්පාට, තැඹිලි පාට, සහ කහපාට මල් අතර ඒ පාටවල් කවලම් වුණු මල් ද ඇත මෙතන මල් කොපමණ ඇත්ද?, මම සිතමි. පොකුරක මල් පනකක්
හැටක් ඇතොත් පොකුරු සියගණනක් පිපුණු ගසක මල් දහස් ගණනකි, පඳුරු දහස් ගණනක් මෙතන තිබිය යුතුය. එසේ
සිතන කල මල් කොටි ගණනක් වෙන්නටත් හැකිය. සමහර දිනෙක කුඩා අප ලන්ද හාස්පස දුවමින්
පොදියක් මෙන් හැදෙන්නට පහළ කොනෙන් අල්ලා උස්සාගත් ටීෂර්ට් වලට මේ මල් එකතුකලෙමු. ඒ
අතරතුර තැන තැන හමුවූ දං සහ ඇඹුල් පේර පඳුරු නිරන්තරයෙන් අපට කෘතඥපුර්වකව පළතුරු
ගෙඩියක් දෙකක් දුන්හ. ලන්ද ද අප මෙන්ම වැඩිවියට පැමිණ ඇත. එකල කුඩා අපට මෙන් අද වැඩිහිටි
අපට ලන්ද පුරා රිසිසේ නිදහසේ ඒ මේ අත දිවයන්නට මේ පඳුරු අතර තවදුරටත් ඉඩක් නැත.
මම මේවා එකිනෙක සිතමින් වේගයෙන් ඇවිද යන අතර
අතපසුවීමෙන් විටක වල් පඳුරු අතරට ලංවෙමි. සැනෙකින් මගේ
කකුල බදාගන්නේ 'ආදර-කටු' වැල්ය. වක්වූ කටුසහිත මේ වැල් අස්සක් මුල්ලක් නෑර වැවී ඇත.
කටු වැල මගේ පාදයෙන් මිදෙන්නේ කැඩුණු කටු, කැඩුණු සම, සිරීම්, ලේ බිඳු, සහ වේදනාව ඉතිරි කරමිනි. වල් වර්ගයක්
වන මේ ආදර-කටු වැල් අපේ කැමැත්ත අකමැත්ත නොවිමසමින් නිසරුම බිමක වුවත් සරුවට වැවේ. 'මේකටම කියාපු
නම', කටුවැලේ ස්වභාවය සහ දී ඇති නමේ අපුර්ව ගැලපීම ගැන මම පුදුම වෙමි. මෙසේ විවිධාකාර දේවල්
සිතමින් ඇවිද යන අතර හැමදාම මෙන් අදත් ලස්සන ගඳපාන මල් අහුරක් මිටමොලවා ගත්තෙමි.
වෙනදා ට මා ඇවිද යන අතරතුර මිටින් ගත් මල් එකින් එක බිම දමමි. හැමවිටම මා පසුකරගෙන ගොස් බිම වැටෙන
ඒවා දෙස බලා මා අපමණ තෘප්තියට පත්වෙමි.
පොකුරෙන්
වෙන්කරගෙන වමතට ගත් අහුරෙන් කුඩා මල් කිහිපයක් දකුණතේ අල්ල මතට එකින් එක දමමි. කුඩාකල මෙන්ම අද ද මා ඒවා දෙස ඇස් දල්වා
බලමි. තනිපාට මෙන්ම පාට කලවංවූ මල් කීයක් ඇත්දැයි මම ගනිමි. අච්චුවකින් තැනූ
ප්ලාස්ටික් මල් මෙන් පෙනෙන, දීප්තිමත් පාට ඇති කුඩා තනි මල් වලට වෙන් වෙන්ව මා වශී
වෙමි. වෙනදා මෙන්ම අද ද මා මේ මල් එකින් එක බිම දැමිය යුතුය. එවිට මගේ සුරතින්
මිදීයන මල් සුළගේ පාවී මා පසුකරයන අයුරු
මා සිතින් මවාගෙන රසවිඳිමි. සමහරවිට අද මගේ ජීවිත කාලයම රසවිඳිය හැකිවන රටාවකට මගේ
අතින් ගිලිහීයන කුඩා මල් පතිතවනු ඇත...
හරිත
ඊටපස්සේ...
ගඳපාන මල් කිනිති - 02
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
[හරිත,
ගඳපාන මල්
කිණිති,
සහ දිනිති]
No comments:
Post a Comment