Friday, March 29, 2019

දෙකේයායට ආවේණික පක්ෂීන්


“ඒවුනාට නැන්දෙ 'ගමේ වැල - ගමේ කපුටන්ට' කියල කියමනක් තියෙනවානේ ද?, ඉතිං ඒම කරන එක හරිද මං අහන්නෙ?” සුගත් අයියා ලෝ-පොයින්ට්ස් දමයි.

මෙතෙක් වෙලා වරින් වර අපේ අම්මාගේත් සුගත් අයියාගේත් මුහුණු වලට එබෙමින්, මේ සංවාදයේ අගමුල ගැටගැහීමට වලිකමින් සිටි මාසෙපෝයටත්  සිල්ගන්නා අත්තම්මාට එවිටනම් මළපැන්නේ ය.

“උඹ ඉඳින් මැණිකෙ” ඈ අම්මාට අණදුන්නාය. අම්මා කරබාගත්තා ය.

“මේ කොළුවො, නෙදකින්, මේ අහපං!” ඇය සුගත් අයියාගේ හදවත පසාරු වනසේ වෙඩිතැබිම ඇරඹුවාය.

ඇගේ කට ස්වයංක්‍රීය ගිණිඅවියකි. එකක් පස්සේ එකක් පිළිවෙලකට ශබ්ද රසයද අර්ථ රසයද කුළුගැන්වුණු හරබර වචන නම් වූ උණ්ඩ වැලකින් සතුරාට පහරදෙයි. වෙඩිමුරයක් නොව වෙඩි වරුසාවකි. සමහරවිට ඈ පැයක් හමාරක් වුවද හර-බර අවි වලින් සතුරාට පහරදෙනු ඇත.

ඒපමණක් නොව හවස් වරුවේ අලවංගුව ඉල්ලාගෙන යන්නට එන සෝමා නැන්දාගේ කණේ, මේක එක-හත කර තබනු ඇත. සෝමා නැන්දා “එක-හත කර තැන තැන කේලං කියනවා” කියා හැමෝම දැන සිටියද කිසිවෙකුත් ඈ කියන දෑ හිතට ගන්නට පෙර හතෙන් බෙදීමට උනන්දු නොවේ. ඉතිං දැන් මෙතැන කුමක් සිදුවුනත් එහි අත්තම්මා ට වාසි සහගත කොටස රසවත් ආකාරයට සංස්කරණය කොට හතලිස් නව ගුණයකින් ගුනකර තනාගත් පොකුරු බෝම්බ, සෝමා නැන්දා ගිය-ගිය තැන අතහරිනු ඇත.

සාමාන්‍ය පොකුරු බෝම්බ වලට විනාශවන්නේ පාපන්දු පිටි කිහිපයක වපසරියක් වුවත් සෝමා නැන්දාගේ පොකුරු බෝම්බ ඡන්ද කොට්ටාස මට්ටේ විනාස කරන දරුණු ඒවාය. සමහරවිට පරම්පරා දෙක-තුනක කාල පරාසයක් ඔස්සේ වුවත් මහා විනාශයක් සිදුවිය හැක. ඇයට ඒගැන වගක් වත් නැත.

අත්තම්මාට දැන් පපුවේ හතිය අල්ලා ඇත. ඇය පපුව අතගාමින් වටය අවසන් කිරීමට සැරසේ...

“වැළ-කපුටන්ට, ගමේ වැල ඔය ඕන හැටියේ තියෙන්නේ, වැළම කාපල්ලා”

“වරක ගැන උඹල වද වෙන්න එපා, වරක කන්නෙ පිළිවෙලක් ඇති එවුන්”

“මේකෙ ඉන්නවද එකෙක්”

“ඒ කාලෙත් නෑ...මේ කාලෙත් නෑ”

අද නෂ්ටාවශේෂ බවට පත්වසිටියද එදා අත්තම්මා ඇහැට කනට පේන්නට සිටිබවට අදත්  සාධක ඇත, ඇගේ පැහැපත් සම ඉන් එකකි. ඇය අදටත් මහවිසේකාර අම්මණ්ඩියකි. තාත්තා කියන කිසිදෙයක් ඇය කනකට නොගනියි. “අම්ම ඉතිං හිතුවක්කාර වෙනවනේ...” කියමින් තාත්තා තොඳොල් වෙන්නේ එවිටය. අත්තම්මා කිරිඅත්තාව බින්න බස්සවාගන්නට ඇත්තේ ඒ කාලෙත් මේ ගමේ 'වැළ-කපුටන්' පමණක් වාසය කල නිසා වියයුතුය. සමහරවිට වැළ-කපුටන් 'දෙකේයායට' ම ආවේණික පක්ෂී විශේෂයක් වියයුතුය. 'වැළ-කපුටන්' කොහෙත්ම ආකර්ශනීය පක්ෂීන් නොවේ, උන් නාවර පෙරාගත් - පාණ්ඩු පාට - කැහුටු - කැත කුරුල්ලන්ය.

අත්තම්මා තර්කාණුකූලය.  සුගත් අයියාඅයියාට පලායාම හැර අන් සරණක් නැත.

“එන්නං කිරිඅම්මෙ!” මෙතෙක් වෙලා 'නෝ හෙල්ලුම් - පොල් මැල්ලුම්' වී සිටි  සුගත් අයියා උපක්‍රමශීලීව පසුබැස්සේ ය. ඔහු මෝඩයෙකු නොවේ.

“එන්නං?” අත්තම්මා තවමත් බෙදයි.

“පලයන්, ගිහිං එක එකාට ගොඩ-පෙරකදෝරුකං කොරකොර ඉන්නැතුව පොතක පතක වැඩක් බලාගනිං”

“මුනිච්චි වෙද්දෙන්කො අපුච්චා!” අත්තම්මා ඉහලට ද පැමිණිලි කරනු ඇත.

ගොඩ-පෙරකදෝරුවාට ලැජ්ජා සිතිනගොඩ-පෙරකදෝරුවා හංදිය දිහාවට ගියේ ය.

සුගත් අයියා එක්දරු පියෙකි, පාසල් ගමන අත්හැර ඇත්තේ මා ඉපදෙන්නටත් පෙර ය. එය මටත්වඩා හොඳට අත්තම්මා දනී. ඇය සමච්චල් කරන්නේ සුගත් අයියාගේ නොමේරූ වැඩපිළිවෙලට ය.

සෙනසුරාදාට කිරිඅම්මා මේක එක-දහය කර පීටර් මාමාගේ කනේ තබනු ඇත. පීටර් මාමා මාසෙපෝයටත් සිල්ගන්නා අහිංසකයෙකි. ඔහු ලෝක විනාසයවත් කනකට ගන්නේ නැත. සෙනසුරාදාට ඔහු අපේ ගේ පැත්තෙ එන්නේ අත්තම්මා බැලීමටය. එදාට අත්තම්මා වේලූ හීල්බත් කොටා, පොල් සහ හකුරු දමා අග්ගලා සාදනු ඇත. සෙම කැපෙනු පිණිස ඇය අග්ගලා වලට ගම්මිරිස් ඩින්ගිත්තක් හැමවිටම එක්කලාය. පීටර් මාමා අග්ගලා මරුවෙකි, තද-කහට ජෝග්ගුවක් සමග දුන්නොත් සීයක්-හමාරක් වුනත් එක හුස්මට ගිලදමනු ඇත.

තම කුසින් බිහිනොකල මුත් අත්තම්මාගේ පළමු දරුවා  පීටර් මාමා ය.  ඔහු උපන් අලුත ඔහුගේ අම්මාට උදව් පදව් කර ඇත්තේ එවකට තරුණ වියේ සිටි අපේ අත්තම්මා ය. දරු උපතින් වසරකට පමණ පසුව නිරන්තරයෙන් අසනීප වෙමින් ඔත්පළව යාන්තමට ජීවත් වෙමින් සිටි ඔහුගේ මව මියගියා ය. ඒ කාලය පුරාම අත්තම්මා නිරන්තරයෙන්  ඔහුට මව වූ අතර ඔහුගේම මව ඔහුට කිරිමවක් පමණක් විය.

පීටර මාමාගේ පියා දෙවන වරට විවාහ නොවීය, එහෙත් කාලය ගතවත්ම ගෙද‍ර-දොරේ වැඩපල කරගෙන සිටි සුසිලාවතී සමඟ එහෙන් මෙහෙන් පවුල් කෑමට පටන්ගත්තේ ය. ඇය තම කුස උපන් දරු දෙදෙනාටත් වඩා මව අහිමි සිඟිත්තාට නිරායාසයෙන් සෙනෙහස පෑවා ය. සෙනෙහස උතුරා ගලන ප්‍රසන්න ගැහැණියක වූ ඇය පිං පාටය. අපි සුදු ආච්චි යැයි කීවේ ඈට ය. දරුවන් කාගෙ වුවත්, ඔවුන්ට රසකැවිලි දී 'නරක්' කිරීමට උපන් හපන් ඇය, ඒ පුරුද්දට තදින්ම ඇබ්බැහි වී සිටි අතර අප ඈ දෙන රසකැවිලි ඉවක් බවක් නැතිව ගිලදැමීමට ඇබ්බැහි වී සිටියෙමු. කිරිදානයකට සහභාගී වීම, පසළොස්වක පෝයට සිල් ගැනීම, සහ ඔලුවේ උකුණන් බැලීම යන බරපතලම කාරනා වලදී සුදු ආච්චිගෙන් මෙහා කෙනෙක් ගැන අපේ අත්තම්මා තුන් හිතකින් වත් නොසිතී ය. ඔවුන් අඹ යහළුවන් ය.

අවසාන වශයෙන් මා කාරනා තුනක් පාඨකයාට මතක් කල යුතුය. එකක් පීටර මාමාගේ එකම දරුවා සුගත් අයියා බව ය. අනෙක සුගත් අයියා යහළුවා වෙනුවෙන් පටන්ගත් කපු රස්සාව ලද තැනම ලොප් වී ඇති බව ය. අවසාන එක අපේ අක්කාගේ දහඅට වන උපන්දිනය වෙනුවෙන් ලබන මාසයේ බෝධිපුජාවක් කිරීමට අත්තම්මා ප්ලෑනක් ගසා ඇති බව ය.

Saturday, March 23, 2019

ගුරු ගීතය


මා පාසල ඇරී වෙනදා පරිදිම කුඩා ගල්කැට වලට පයින් ගසමින් ගෙදර එමින් සිටියෙමි. කවදාවත් නැතිව තාත්තා, ගෙදරට යන පාරත් ප්‍රථමික විද්‍යාලයත් අතර පාරේදී මට මුණගැසිනි. “ගෙදර යනකොට පරිස්සමෙන්!,  අද පාරෙ ගස් කපනවා” තාත්තා අණක් නිකුත් කළේය. පාසලත් ගෙදරත් අතර දුර සැතපුම් කාලක් වත් නැත. කපන්නට තරම් ගස් ද ඒ පාරේ නැත. පාරක් කිව්වට එක පාරක් ද නොවේ, ලන්දක් මැදින් දිවයන අඩිපාරකි. බෙදා වෙන්කළ ඉඩම් වල් වැදී තිබිණ. ඉඩම්වලට පාරක් වෙන්කර තිබුනත් එයට තාර දමා නොතිබුණි. වරින්වර ගමන්කළ වාහන නිසා තණකොළ මැරී එකිනෙකට සමාන්තර අඩි පාරවල් දෙකක් සෑදී තිබිණ. ඕනෑ කෙනෙකුට තමන් කැමති පාරක් තෝරාගැනීමේ නිදහස තිබිණි. මම හැමවිටම දකුණු අත පැත්තේ අඩිපාර තෝරාගතිමි, එයට හේතුවක් මා දැනසිටියේ නැත.


මම විවිධාකාර බහුබූත කල්පනාකරමින් අපේ නිවෙස අසල කඳුගැටය අසලටම පැමිණියෙමි. පාර ඒ කුඩා කඳුගැටය වටා ගමනකළේය. කඳුගැටය මුදුනෙ එක හා සමාන රූස්ස ගස් යුවලකි. මද සුලඟකටත් ඔවුන් යෝධ අත් පා පද්දමින් ඒ මේ අත වැනුනාහ. ඔවුන් අතරින් හමායන සුළඟ ඊට සරිලන ගැඹුරු පිරිමි හඬික් නැගීය. සමහරවිටෙක නිර්භීත කුඩා කුරුල්ලෙක් දෙන්නෙක් මේ යෝධ ගස්වල අතුපතර අතර සැඟව සියුම් හඬින් ගැයීය.

සමහර දිනයක හවස් වරුවේ මම මේ ගස් අවට බූටෑවේ ඇවිදින්නට යමි. ඉදුණු ඇඹුල් පේර ද, දං හා හිඹුටු පඳුරු ද ඇති තැන් මා අතැඹුල සේ දැන උන්නෙමි. මගේ ගමන හැමදාම කෙලවර වන්නේ මේ විසාල  පොප්ලර් ගස් දෙක අතර ඇති පේර පඳුරෙනි.  කිසියම් අහේතුවකට ඒ ගසේ පේර අලගෙඩි මෙන් විසාල වූ නමුත් ලා කහ පාටට හොඳින් ඉදුණු ගෙඩි පවා දෙහි ගෙඩි මෙන් ඇඹුල් රස විය. කුරුල්ලන් මේ ගසට අතතබන්නට මැලිවන්නට ඇත්තේ ඒ නිසා වියයුතුය. මම සාමාන්‍යයෙන් එතැන සිට පෙර ගෙඩියක් හපමින් ද මදුරුවන් තලමින් ද එක් එක් පොප්ලර් ගස දෙස බලා “මේ ගස් කවුරුන්  හිටවන්නට ඇත්ද?” යි සිතමි. ඒ ගස් වලට යාබදව අසාමාන්‍ය ලෙස මට්ටම් වූ බිමකි, දිනක්‌ එහි තිබී චතුරශ්‍රාකාර රිදී පැහැති ලෝහ කැබලි දෙකක් හමුවිය. එදින හවස්වරුවේ මම ඒවා සෝදා පිරිසිදුකරගෙන පොඩිකරගත් ඇඹුල්වැන්න කොල අතුල්ලා දිස්නය ගස්වාගෙන ජයසේන බාසුන්නැහේට පෙන්වූයෙමි. ඒවා දුටු සැනින් විමතියට පත්වූ ඔහු, කක්කුට්ටෙකු මෙන් විසාල බෝල ඇස්ගෙඩි තට්ටය මුදුනේ නංවාගෙන “හොහෙන් දෑ මේවා, මේ ඉස්සරෝම රේඩිඑකට දාපු බැට්ටි කෑල්ලක කෑලි නේ!” යැයි කීය. මා කිසිදාක චතුරශ්‍රාකාර පැතලි වියලිකෝෂ දැකතිබුනේ නැත, එසේ ඇති බවට අදහන්නට සුදානම් ව සිටියේද නැත. ඉතිං මේ කතාබහින්, බාසුන්නැහේට පිස්සු තදවී ඇතිබව පමණක් මම තහවුරු කර ගතිමි. පසුකලෙක අහම්බෙන් අම්මාට හසුවූ ඒ ලෝහ කැබලි ඇය පහසුවෙන් හඳුනා ගත්තාය. බාසුන්නැහේට ඇති පිස්සුවක් නැත, ඒවා පරණ වියලිකෝෂ වල කොටස්ය. සමහරවිට පොප්ලර් ගස් වලට යාබද තැනිිබිමේ කවුරුන් හෝ ජීවත් වන්නට ඇත. සමහරවිට ඔවුන් පෝප්ලර් ගස්  රෝපණය කළා වෙන්නටත් හැකිය...