Friday, March 26, 2021

දිලීගිය නුවරට තරුණයෙක්



🌣. ඉලන්දාරියා

එක්තරා ගමක හිටිය යස ඉලන්දාරියෙක්, කාත්-කවුරුවත් නැතිව ලොකු-මහත්වුනත් ඔහු බොහොම කඩවසම් වගේම බොහොම කඩිසරයි. නිතර අනුන්ගෙ හේන්කු-කුඹුරු වතු-පිටි ආදියෙ වැඩ පල කලත් ඒවායෙන් තමන්ට හරි-හමං අදායමක් හරි-හම්බ කරගන්න බැරිබව මේ තරුණය ටිකෙන්-ටික තේරුම් ගත්තා. ඉතිං මේ අතරෙ මේ කොළුවට ආරංචිවුණා බොහෝම එපිට ගම්-නියංගම් වලින් පවා තරුණයො තම-තමන්ගෙ වාසනාව උරගා බලන්න කියල 'දිලීගිය නුවර' බලා ඇදෙන බව. දිලීගිය නුවර වරුණාව ගැන බොහොම කටකතා තිබුනත් මේ නුවරට යන හැටි ගැනවත් නුවර ගැනවත් කරුණු-කාරනා හරි-හැටි තේරුම්-බේරුම් කරලා දෙන්න තරම් දැනුමක්-තේරුමක් වත් දැන-උගත් කමක් වත් ඇති කිසි කෙනෙක් ඒ ගංගොඩේ තියා අහළ ගං හතකවත් හිටියෙ නෑ. ඉතිං, මේක කියවන ඔබට මේ නුවර වරුණාව මෙතෙකැයි කියන්න හරි-හමං දැනුමක් තේරුමක් මටත් නෑ!
කොහොම වුනත් අපේ ඉලන්දාරියා මේ කිසිවක් ගැන විස්සෝප නොවී තමන්ට තේරෙන හැටියට ගමනට වුවමණා කළමනා පොදියකට බැඳගෙන පුරඅටවක දාක උදේ පාන්දරින්ම ගමනට පිටත්වුණා. ඒකාලෙ අද වගේ තාර දමපු පාරවල් තියා හරියාකාර වැළි පාරක්වත් පිළිවෙලකට තිබුනේ නෑ. නිතර ගමක්-ගමක් ගානෙ කිසිවෙක් ගමන්කලේවත් ගමන්කරන්නට වුවමනාවක්වත් තිබුනෙත් නෑ. ඉතිං, බොහොම දෙනා පයින් කරත්ත පාරවල්, අඩි පාරවල්, සතුන්ගෙ මංකඩවල්, නැතිනම් පුළුවන් විදිහකට කැලේ බිඳගෙන තමයි දුර ගමන් වල ගියේ. ඉතිං, අපේ මේ ඉලන්දාරියා තමන්ගෙ බඩුපොදිය හිසෙ තබාගෙන, සොර-සතුරන් ගෙනුත් සතා-සීපාවා ගෙනුත් ආරස්සාවෙන්න හිතල කිරිච්චියත්* ඉණේ ගසාගෙන දිලීගිය නුවර බලා පිටත් වුනු හැටි අපට හිතාගන්න පුළුවන්නෙ!

ඉතිං මේ ඉලන්දාරියා තමන්ට පුළු-පුළුවන් හැටියට යන-එන අයගෙන් මග-හසර අහගෙන නුවර බලා යනවා. මේ අතරෙ විටින්-විට මං මුලා වෙලා ඒ-මේ අතත් යනවා සමහර වෙලාවට වග-වලස්සුත් නයි-පොළොන්ඟුත් හම්බවෙනවා. කෙසේ වෙතත් මේ තරුණය බයක්-හැකක් නැතිව කරදර-භාදක මැඩගෙන තමන්ගේ විශ්වාසයේ හැටියට ඉදිරියටම ඇදෙනවා.
කොහොමවුනත් ඔහු ගෙනාපු කන-බොන දේවල් දින කීපයකිනම අහවර වුණා. ඊටපස්සේ මේ තරුණයට තමන්ට ම කියල ඉතිරි වුනේ තමන්ගේ ඇඳි වතත්, කාසි කීපයකුත්, කිරිච්චියත් විතරයි. නමුත් මේ තරුණයා ගඩා-ගෙඩි , අල-මුල් ආදිය කමින් කොහොමින්-කොහොම හරි දින හතක්ම ඉදිරියටම ගමන්කළා. තෙහෙට්ටුවත් බඩගින්නත් නිසා අත-පය වගේම කොලුවගේ සිහි-කල්පනාවත් ටිකින්-ටික දුබලවෙන්න පටන්ගත්තා.
🏶
~~~~~~~~~~~~~~~~~~~~~~~~
*කිරිච්චිය = උල් පිහි වර්ගයකි. ( A dagger is a knife with a very sharp point and usually two sharp edges.)

🌩. ඔහු මියයාවිද ..?
පහුගිය දින හත තිස්සෙම මේ විදිහට ගමන්කරණ තරුණය රෑපානෙ උනත් පුළු-පුළුවන් හැම විටම ඉදිරියටම ගමන්කලා. හුළු එලියක්වත් නැතිවුනත් හඳ මෝරන කාලය අල්ලලා ගමන පටන්ගත් හින්ද ඔහුට හඳ එළිය ගමනට බොහොම උදව්වක් වුනා. ඉතිං මෙහෙම ගමනෙ දුෂ්කරම අවධියෙ ඉන්න අපේ තරුණය දින ගණනකින් මිනිස් පුළුටක්වත් දැක්කේ නෑ, ගමනත් එන්න-එන්නම දුෂ්කර වෙනවා, පනැති දෙයකට කියල මුණගැහුනෙ සතෙක්-සරපයෙක් විතරයි. මේ කරදර මැද්දෙ, ඉඳල හිටලා හම්බවෙන වග-වලසුන්ගෙන් බේරිලා ඉන්න 'පණ එපා!' කියල ඔළුව හැරිච්ච අතේ දුවන්න මේ හාදයට සිද්දවුනා. මෙහෙම ඉබාගාතෙ දුවෑවිදල මංමුලා වුනාම ආයෙත් උන්-හිටි තැන් හොයාගන්න වරු ගණන් නාස්ති කරන්නත් සිද්ධවුනා.
ගමනෙ හත්වන දවසෙ ගොම්මන් වැටිලා තිබුණත් පසළොස්වක හඳ නිසා තරුණයා ගමන නැවැත්තුවෙ නෑ. තෙහෙට්ටුවත් කුසගින්නත් නිසා ගතිනුත්-සිතිනුත් දුර්වල වෙලා හිටිය තරුණයට තරමක් එලි-පහලි කරපු ඉඩමක තිබුණු කුඩා ගෙයක් හඳ එළියෙ දැකගන්න ලැබුණ. සිහියත්-අවසිහියත් අතරෙ හිටිය තරුණයට තමන් දුටුදේ විස්වාසකරනව ඇරෙන්න වෙන සරණක් තිබුනෙත් නෑ. ඉතිං, මේ ඉලන්දාරියා කොයිකටත් කියල මේ ගෙදරට ගිහිං උදව්වක් උපකාරයක් ඉල්ලගන්නව කියල තීරණය කරලා ඒ ගේ පැත්තට ගෑටුවා.
නමුත් මේ අතරෙ පරිසරයෙ පුදුමාකාර සිදුවීමක් සිද්ධවෙමින් තිබුනා. බොහොම තදින් හුළං හමන්නට පටන්ගත්තා. මේ හුළඟ කොහෙන්දෝ වැහි වලාකුළු අරගෙන ඇවිත් මුළු අහසම වහල දැම්මා. පුර හඳ ඉක්මණින් වැහි මේ ඝන වලාකුළු අතරෙ නොපෙනී ගියා. ඊටපස්සෙ දොඹ ගෙඩි තරම් විසාල වැහි බිංදු හෙණ ගහනවා තරම් වේගයෙන් පොළොවට වැටෙන්න පටන්ගත්තා. විටින්විට කොටන විදුළියෙන් මේ ගුප්ත නිවහනත් වටපිටාවත් මේ තරුණයට විටින්විට ක්ෂණිකව පෙනිල නොපෙනී ගියා.
මේ සියල්ල සිදුවෙන අතරෙ අපේ ඉලන්දාරිය මේ ගෙදර දොරකඩටම ඇවිදගෙන ඇවිත් තිබුණා. මේ ගෙදර දොරක් වෙනුවට තිබුනෙ පැලැල්ලක්, එක බොහොම පිළිවෙලකට ගස්වල පට්ටා සහ අතු-ඉපල් වලින් තනා තිබුනා. ඒවා අතරින් එළියට දුබල එළියක් වගේම බොහොම හොඳ කෑම සුවඳකුත් ගලාගෙන ආවා. කටුමැටි බිත්ති බොහොම සවිශක්තිය ඇතිව හදා ඇතිබව පෙනුන. අගේට පළපුරුදු අතකින් හෙවිල්ලලා තිබුණු වහලය ඉළුක් වෙන්න ඇතියි කියල මේ කොළුව අනුමාණ කළා.
🏵
~~~~~~~~~~~~~~~~~~~~~~~~

☁. ගෙදර කවුද...?
ඉතිං මේ තරුණය තමන්ට හිසට උඩින් වහළයකුත් කුස පිරෙන්න අහරත් හම්බවුනා නේද කියල හිතල, පණපිටින් දිවියලෝකෙ ගියා වගෙ සිතිවිල්ලකින් පිනාගිහින්, ඉස්පාසුවක් නැතිව 'ගෙදර කවුද...?' 'ගෙදර කවුද...?' කියලා බොහොම උස් හඬින් ගෙදර ඉන්න කෙනෙකුට කතා කළා. මෙහෙම කීප විටක් කතාකරන කොට පැලැල්ල පැත්තකට තල්ලුවෙන හැටිත් කිසියම් විපරීත රූපයක් තමන්ගෙ දිහාවට එබිකම් කරන හැටිත් විදුළි එළියෙන් ඉලන්දාරියාට පෙනෙන්නට වුණා.
'උඹට මොනවා ඕනැ වෙලාද?' ගේ ඇතුලෙ හිටපු විරූපී අමනුෂ්‍යයා පැලැල්ල අතින් වත්තම් කරගෙන ගැහැණු කටහඬකින් තරුණයාගෙන් ඇහුවා.
'අම්මේ, මම දිලීගිය නුවරට යනගමන්...දින ගනනකින් කිසිවක් කෑවෙත් නෑ...හරිම මහන්සියි...මට අද රෑ මෙහෙ ගතකරන්න දීපන්' තරුණයා ආයාචනා කළා.
'හොඳයි..උඹ මේ මඩුවේ නිදාගනින්...නමුත් ගොරවන්නෙ එහෙම නෑ...එහෙම නොවුනොත් මට උඹව ගිලදමන්නට සිද්ධ වේවි!' අමනුශ්‍යයා කාරුණිකව අවදානම ගැන පූර්ව දැනුවත් කිරීමක් සිදුකළා.
තරුණය මහළු කාන්තාවට ස්තුති කරලා තනි බිත්තියකින් ගෙදරට යාකරල හදල තිබුණු මඩුවට ඉක්මණින් රිංග ගත්තා. මඩුවත් ගෙදරත් යාවෙලා තිබුන බිත්තියෙ ඇස්මට්ටමට ඉහළින් තරමක් විශාල කවුළුවක් තිබුණා. එකෙන් අර කාන්තාව හුස්ම ගන්න හඬ පවා ඇහුනා. ඉතිං, බැරිවෙලාවත් සද්ද-බද්ද කරලා මහළු කාන්තාව කේන්ති ගැස්සුවොත් තමන් අලි අමාරුවක වැටෙන බව ඔහුට තේරුම් ගියා. උපන්දා ඉඳලා කොටියෙක් වගේ ගොරව-ගොරවා නිදාගත්තු අපේ ඉලන්දාරියා නින්ද වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පරදුවට තියන්න කොහොමටවත් කැමති වුනේ නෑ!
🏶
~~~~~~~~~~~~~~~~~~~~~~~~


🕷. නිදිනැති රැයක්..!
'අන්තෝජටා-බහිජටා කිව්වලු, ඇතුලෙත් ගැට - පිටත් ගැට' තරුණයා තමන්ටම කියාගත්තා. පැදුරෙන් බිමට වැටිල ඉන්න මම මොකට විහින් කබලෙන් ලිපට පනිනවද? කියල හිතපු අපේ තරුණය තමන්ට වෙලා තියෙන සංතෑසියත් වෙන්නටයන නස්පැත්තියත් ගැන හිත-ඉතා ඉන්නෙ නැතිව තමන් වැටිච්ච වලෙන් ගොඩඑන විදිහක් ගැන හිතන්නට තීරණය කළා. කොහොම වුනත් අනෝරා වැස්සෙ තෙමිල හීතලට ජල සන්නියක්වත් හදාගෙන වෙව්ලලා පණ යන එකත් තමා කා දමාවිය කියල හිත-හිතා ඉඳල පරාණ බයේ පණ යන එකත් අතර එච්චර වෙනසක් මේ කොළුවා දුටුවෙ නෑ.
එතරම් හීතලක් දැනුනෙ නැතක් පුරුද්දට වගේ ඇඳගෙන හිටපු සරංමාල්ලත් ඔළුවේ ඉඳන් පොරවාගත්ත අපේ තරුණයා, පූසෙක් වගේ මඩුවෙ කෙළවරක ඇනතියාගෙන බොහොම උනන්දුවෙන් අවට සිරි නරඹන්නට පටන්ගත්තා. වියළි පොළොවක් තිබුණු මඩුවට හිරිකඩ වත් හුළඟ වත් කොහෙත්ම ආවෙනෑ. මඩුවෙ මුල්ලක විශාල දර ගොඩකුත් ඒ ලඟම ලිග්ගල් තුනක් උඩ මුණින් නවපු විශාල ලෝහමය කල්දේරමකුත් තිබුණා. ඊට එහායින් බිත්තිය ළඟ විශාල පත්තක් බිත්තියට හේත්තු කරල තිබුණා. ඉතිං, ගින්දර ටිකක් එකතුකර ගත්තම අපේ තරුණයගෙ නුදුරු අනාගතේ මේ ආම්පන්න පාවිච්චි කරලා මවාගන්න කිසිකෙනෙකුට ඒතරම් අපහසු වෙතියි කියල මම හිතන්නෙ නෑ. ඒ කෙසේවෙතත් විටින් විට වැදෙන අකුණු වල විදුළි එළියෙන් ඒ මේ අත බලමින් ඔල්මාද ගතියෙන් පසුවෙච්ච ඉලන්දාරියට නම් මේවයෙ අග-මුළ ගැටගහගෙන තුස්නිම්භූත වෙන්න සෑහෙන වෙලාවක් ගතවුණා.
🏵
~~~~~~~~~~~~~~~~~~~~~~~~
පාතරාසය = උදය ආහාරය
ඇනතියා ගන්නවා = squat



🌶. පාතරාසයට සුප්..?
කොහොම උනත් එක-එක බහුබූත ගැන හිතමින් හිටිය මේ හාදයගෙ බඩගින්නත් තෙහෙට්ටුවත් මරණ බය හින්දම මුළුමනින්ම වාගෙ අතුරුදහන් වුනා. ඉතිං උයන්න දෙයක් තියා ගින්දර ටිකක්වත් නැතත් අඩුම තරමෙ එහෙම හිතාගන්න වත් බැරියැ කියල හිතාගෙන අර කලින් කියපු කල්දෙරමත් උස්සගෙන ඉස්තෝප්පුවට ගියා. වහලෙන් 'හෝ' ගාල වැක්කෙරෙන වැහි වතුරෙන් කල්දේරමත් පත්තත් හොඳට හෝදගෙන වැහි වතුරෙන් කල්දේරම තමන්ට උස්සගන්න පුළුවන් තරමට පුරවගත්තා. ඊටපස්සෙ ලිග්ගල් උඩ කල්දේරම තියල ලිපට හොඳට දරත් දාල. පත්තෙන් 'ස්රාස් -ස්රාස්' ගාල කල්දේරමේ තිබුණු හීතල වැහි වතුර කාල්ගාන්න පටන්ගත්තා. දැන් මේ කියවන අය 'මේ මොන විකාරයක්ද? කියල අහන්න එපා!'. මනුස්සයො, සතා සීපාවෝ විතරක් නෙවෙයි ගහ-කොළ පවා තීරණාත්මක අවස්ථාවලදී විශ්වාස කරගන්න අමාරු වගේම තේරුම් -බේරුම් කරගන්නත් බැරි විදිහට හැසිරෙනවා.
මේ අතරෙ මඩුවෙන් අනික්පැත්තෙ, ඒ කියන්නෙ අර අත්භූත මැහැල්ලගෙ ගේ ඇතුලෙන් මහා ගෝසාවක් ඇහෙන්නට වුනා. 'පුතා...' 'ඉත්තෑවා...' 'යකා...' වගෙ වචන අරුනාම වලං පොලොවෙ වදින සද්ද, බඩුමුට්ටු බිම වැටෙන සද්ද, පොලොව බිඳින සද්ද ගේ ඇතුලෙන් මඩුව පැත්තට ඇහුනා. 'මේ යකින්නගෙ පුත්තරය රෑට කන්න කියල ඉත්තෑවෙක් මරාගෙන ඇවිත් ඇති හැඩයි!' එහෙන් මෙහෙන් වචන ගලපලා සිද්ධිය තේරුම් ගන්න වලිකාපු ඉලන්දාරියා හිතුවා. 'ඉතිං ඒ යකාටත් යකෙක් කන්න බඩගිණි ඇති, එකයි ඔය යක්සාවෙස වෙලා ඇත්තෙ!' කියල හිතපු ඔහු අවංකවම යක්ස පැටිය ගැන කණගාටු වුනා.
🏶
~~~~~~~~~~~~~~~~~~~~~~~~

🕳රෑට ඉත්තෑ මස් ..?
ටිකවෙලාවකින් සද්ද-බද්ද අඩුවුණා. ඒත් තාමත් අපේ කොළුවා ඔල්මාදෙන් කල්දේරම කාල් ගානවා. ඉතිං, මැහැල්ලට 'ස්රාස් -ස්රාස්' සද්දෙ ඇහිලා අර කවුළුව පැත්ත හැරිල මෙහෙම අහනවා.
'කොළුවො, උඹ ඔයපැත්තෙ අහවල් දෙයක් කරනවද, මේ ගේ කඩා දාන්නද හදන්නෙ?'
'අම්මේ, හරි බඩගිනියි මම මේ 'දිවිය තලප' ටිකක් හදනවා, හැකිනම් ගින්දර ටිකක් දීපන්' කොළුව අවසිහියෙන් වගේ තමන්ට හිතෙන-හිතෙන දේ කියාගෙන යනවා.
ටිකවෙලාවකට පස්සෙ අර කියපු කවුළුවෙන් නිවීගෙනයන ගිණිපෙල්ලක් අඳුර මැදින් මතුවුණා. කොළුවා බොහොම කෘතඥපූර්වකව ගිණිපෙල්ල ගත්තත් කිසිම කතාබහක් හුවමරුවුනේ නෑ. ඊටපස්සෙ උයන දෙයක් ගැන කල්පනාකරමින් ලිප පත්තුකරපු කොළුවට බුලත්විට තියෙන මඩිස්සලේ අඩියෙ අන්තිමට ඉතිරි වෙලා තියෙන කරාබුනැටි සහ එනසාල් පියළි ගැන මතක්වුනා. ඔන්න ඉතිං හනික ඒවත් තලල කල්දේරමට දාල ආයෙත් කොළුවා කාල්ගාන වැඩේට බැස්සා.
වතුර රත්වෙනකොට කුළුබඩුවල සුවඳ හෙමින්සැරේ කවුළුව ඇතුලෙන් ගේ ඇතුලට ගිහින් මැහැල්ලගෙ නාසාපූට ඇතුලටත් ගියා. ඇයි ඉතිං ගඳ-සුවඳ කියන්නෙ අල්ලල නවත්වන්නවත් සැර-වැර කරලා නතර කරන්නවත් පුළුවන් දේවල් නෙවෙයිනෙ! මෙහෙම පුදුමාකාර සුවඳක් කවදාකවත් මේ මහළු කාන්තාවට දැනිල තිබුනෙ නෑ. 'සුවඳ මෙහෙමනම් 'දිවිය තලප' මොනතරම් රස කෑමක් වෙන්න ඇද්ද?'. ඉතිං, 'දිවිය තලපෙ ගැන හිතල පිස්සුවැටුණු මැහැල්ල මෙහෙම කියනවා.
'කොළුවො උඹ හදන දෙයක් මටත් දීපන්, උවමනා දෙයක් තියෙනවනම් කියාපන්'
නූල් සූත්තර ගැන පණ්ඩිත උපාධියටත් වඩා ඉගෙනගෙන තිබුණු අපේ තරුණයට ඒ යකින්නගෙ කණෙන් රිංගල තමන්ට වුවමනා අඩුම-කුඩුම සේරම ඉල්ලගන්න වැඩිවෙලාවක් ගියේ නෑ. ඒ අතරෙ යකින්නටත් මොහොතෙන් මොහොත තලපෙ හදල ඉවරදැයි දැනගන්න වුවමණා වුණා. ඈ කොතරම් ඒ ගැන තරුණයාගෙන් විමසුවද කියනවනම් 'තලපෙ හැඳිගාන එක පැත්තක තියල, පත්තෙන් දෙකක් පිටමැදට දෙන්න තිබුනානම් හොඳයි' කියල ඔහුට දහස් වාරයක් හිතුනා. ඔන්න ඊටපස්සෙ අර කවුළුවෙන් මැටිකෝප්ප දෙකක් දික්වුනා. 'දැන් මං ඔය මැටි කෝප්ප දෙක ගත්ත හැටියෙ මේ යස්සනියි පැටියයි කඟවේන්නු වගේ මඩුවට කඩාපනියි, ඊටපස්සෙ ඔය සන්නි යක්කු මෙතන මොන තොවිලයක් නටයිද දන්නෙ නෑ?' කොළුව හිතුවා.
දිව්‍ය තලප හෙවත් අජරාමර ගුලි...?
🏵
~~~~~~~~~~~~~~~~~~~~~~~~

🐿. අජරාමර ගුලි...?
ඔන්න ඊට පස්සෙ කොළුව මඩුවෙ දොර දිහාවෙන් එන විවිධාකාර අමුතු සද්ද-බද්ද ගැන විමසිල්ලෙන් ඇස් ලොඳ එළියට පනින තරම් ලොකු කරගෙන 'ගොරක යකා ආවත් අදනම් මම බයවෙන්නෙ නෑ!' කියල හිතා ගත්තා. ඒ කෙසේ වෙතත් මේ වගේ සිද්දියක් වුනාම කාගෙ වුනත් ඉහ-මොළ රත්වෙලා ඔළුව ගිණිඅරන් මොළේ විකාර වෙනවා කියන එක අමුතුවෙන් කියන්න වුවමනාවක් නෑනෙ! එත් අපේ කොළුවට ලිපේ යන්තම් ඇවිළෙන ගින්නෙනුත් විටින්-විට කොටන විදුළියෙත් එළියෙන් පෙනුනෙ මෙන්න මෙහෙම දෙයක්...තරමක ඉත්තෑවෙක් ඒ මේ අත ඉව අල්ලමින් තමන්ගෙ පැත්තට එනවා! 'කිරිච්චියෙන් ඔට්ටුවෙවෙලා මට්ටුකරන්න පුළුවන් යකෙක්ද මේ!' තරුණය හිතුව විතරයි ඊලඟට දොරෙන් මතුවුනේ අල්ලපු ගෙදර ඉන්න අමනුස්සයා. ඇත්තටම තරුණය බිරාන්ත වෙලා ගල්ගැහිලා බලාගෙන ඉන්න අතරතුර ඉත්තෑව මහළු කාන්තාවට කණවැල ඇල්ලුවා. ඊට පස්සෙ ඒ දෙන්න බලහත්කාරයෙන්ම ළිප ළඟ රස්නෙට තියෙන හොඳම තැන ඉඳගත්තා.
ඊට පස්සෙ කිසි කතාවක්-බහක් නැති වුනත් බොහොම ගරු-සරු ඇතිව යටහත්-පහත් විදිහට අපේ කොළුව මැටි කෝප්පය පුරවල තලප බෙදල අර කාන්තාවට දුන්නා. මේ විදිහට බෙදල බෙදල දෙන තලප මේ කාන්තාව කාගෙන කාගෙන ගියපු විදිහට 'මෙහෙම ගියොත් මේ මනුස්සය තලප ටික ඔක්කොම කාල කල්දේරමත් කාල මාවත් කාවි!' කියල කොළුව හිතුවා. එහෙම හිතල පුළු-පුළුවන් හැටියට උණු උණු තලප පිචිචි-පිච්චි ඔහුත් බඩ උල් වෙනකං ගිලදැම්මා. ඉතින් බඩ පැලෙනකම් තලප කාල මහළු කතත් ඉත්තෑවත් එතැනම නින්දට වැටිල මහ හයියෙන් ගොරවන්නට ගත්තා. ඊටපස්සෙ මනුස්ස පරාණයකට දරන්න හැකි තරම් වෙලාවක් ඇහැරගෙන හිටපු කොළුව 'ඔන්න ඔහෙ ඕන එකක් වෙච්චාවෙ මාත් නිදාගන්නව!' කියල හිතාගෙන ඇස් දෙක පියාගත්තා!
🏶
~~~~~~~~~~~~~~~~~~~~~~~~

🌤. උ
පහුවදා කොළුව අවදිවෙනකොට හොඳටම ඉර පායලා, වැස්සත් තුරල්වෙලා. අමනුස්සය තමන්ව නොකාපු එකත් බඩ පැලෙනකම් කාල කුම්භකරණය වගේ මහ දවල් වෙනතුරු නිදාගන්න ලැබීම ගැනත් ඔහු අමන්දානන්දයට පත්වෙලයි හිටියෙ. තමන් පහුගිය රාත්‍රියෙ මූණදීපු සිද්දිය මොනතරම් බහුබූතයක්ද කියල හිතිච්ච ඔහුට 'එක්කෝ එක හීනයක් නැත්නම් මේක හීනයක්' කියලත් හිතුනා. ඔහොම හිත-හිතා ඉඳපු කොළුවා ලක-ලෑස්ති වෙලා 'ආයිත් ගමන පටන්ගන්න ඕනැ' කියල හිතල නැගිටින්න හැදුවා නමුත් ඔහුට හෙලවෙන්නවත් පුළුවන්කමක් ලැබුනෙ නෑ.
කොළුවට දැනුනෙ තමන්ව කේශාන්තයෙ ඉඳල පාදාන්තය දක්වාම බැඳ දාල කියලයි. තමන් පොළොවට ඉහළින් මැස්සක උඩුබැලි අතට නිදා සිටින බවත් තමන් තවදුරටත් මඩුවේ නොඉන්න බවත් ඔහුට තේරුම්ගියා. ටිකෙන් ටික ඔහුට මහත් විඩාවක් දැනෙන්නට වුනා එත් එක්කම තද රස්නයක් දැනුනා ඒ රස්නය කෙතරම් දැඩි වුනාද කියනවනම් ඇස් වලින් ගිණි පිටවෙනවා වගෙ දැනෙන්නටත් නොනවත්වා කඳුළු ගලන්නටත් වුණා. තමා මැස්ස මත පිළිස්සෙමින් ඇති බවත් මැහැල්ල ගිනිමැලය දල්වන්නට උත්සාහ කරන බවත් විටින්විට හුලං පිඹින සද්දෙන් ඔහු අනුමාණකලා. ඒ අතරෙ කොළුවට තදින් පිපාසාවක් දැනුනා. 'අම්මේ මට වතුර ටිකක් දීපන්' කොළුවා මහළු කාන්තාවගෙන් වතුර ටිකක් ඉල්ලුවා. නමුත් ඔහුගෙ තොල් වලින් කිසිම සද්දයක් පිටවුනේ නෑ!
🏵
~~~~~~~~~~~~~~~~~~~~~~~~

🕯. වෙද-හෙද කම්
ඔන්න ටික වෙලාවකින් මැහැල්ල ගේ ඇතුලට ගොඩවුනේ තිත්ත වැලකින් මිටියකට බැඳගත් අත්බෙහෙත් මුලකුත් එක්කයි. ඒ මුලේ කොළ, වැල්, මුල්, පොතු ආදී අනේක දේ තිබුනා. ඈව දුටුවා විතරයි මෙච්චර වෙලා මැස්ස යට කොළුවට තනිරැකපු ඉත්තෑවා කොහෙටද අතුරුදහන් වුනා.
හනික පිටිඅල්ලෙන් කොළුවගෙ බෙල්ල යටත් නළලෙත් උණුසුම බලපු මැහැල්ලට කොළුවට අන්තරාදායක විදිහට උන රෝගය උත්සන්න වී ඇතිබව තේරුණා. ඈ හනික උමතුවෙන් වගේ හීතල වතුර පොල්කට්ටකුත් රෙදිකඩකුත් අරන් වතුරෙන් තෙමල කොළුවගෙ ඇඟේ රස්නය අඩුකරන්න උත්සාහකළා. කොළුවා ඒ අතරෙ උණ විකාරෙන් කෑ කෝ ගහන්නත්, දඟලන්නත්, කියවන්නත් වුණා ඒත් මැහැල්ල සංසුන්ව නොනවත්වාම තමන්ගෙ උත්සහයෙ යෙදුන. වරුවකට විතර පස්සෙ කොලුවගෙ උණ අඩුවෙලා වතුර ටිකකුත් ඉල්ලගෙන බීල ඔහු නින්දට වැටුනා. ඊට පස්සෙ බඩගින්නෙනුත් වෙහෙසෙනුත් හිටපු මහළු කාන්තාව ලෙඩාට උවමනා කසායත්, කැඳත්, තමන්ට කෑමට යමකුත් පිළියෙළ කරන්නට පටන්ගත්තා.
🏶
~~~~~~~~~~~~~~~~~~~~~~~~

✡. මරණය කරා...
මේ විදිහට තරුණය එකදිගට දින හයක් ඒ මැස්ස මත වැතිරිලා උණ රෝගය සමඟ සටන් කළා. ඒ වගේම මහළු කාන්තාවත් රැයක්-දවාලක් නැතිව කොළුවගෙ ජීවිතෙ බේරගන්න කෑමක්-බීමක් වත් වෙහෙස-මහන්සිය වත් ගැන සැලකීමක් නැතිව සටන්කලා. ඒ දින කීපයට කොළුවගෙ ශරීරය කොතරම් දුර්වල වෙලා වැහැරිලා ගියාද කියනවනම් ඔහුට තවදුරටත් මැස්සෙ හැරෙන්න-පෙරලෙන්න තරමට වත් ඇඟපතට වාරුවක් තිබුනේ නෑ. ඒ විතරක් නෙවෙයි තද උණෙන් සිහිය විකල්වෙලා මනස්ගාත ඇහෙන්නත් පෙනෙන්නත් දැනෙන්නත් පටන් අරං තිබුණු නිසා ඔහු විකාර දොඩවන්නත් කෑගහන්නත් ගත්තා. ඒ කොහොම වුනත් මැහැල්ල නොනවත්වාම ඔහුගෙ ඇඟේ රස්නය අඩුකරන්නත් දියර වර්ග පොවන්නත් උපරිම උත්සාහය දරුවා. අලුතෙන් සිද්දවෙච්ච මේ කිසිදෙයක අගක් මුලක් තේරුම් ගන්න බැරිවෙච්ච ඉත්තෑව තමන්ට හැකි හැම තැනකටම හොස්ස පොවමින් ඉබාගාතෙ ගේ හැමතැන ඇවිද්දා.
🏵
~~~~~~~~~~~~~~~~~~~~~~~~

🎕. උදව්-උපකාර
හයවන දවසෙ රෑ දෙගොඩහරිජාමේ වෙනකොට අන්තිම වෙච්ච ලෙඩෙකුට උපස්ථාන කරන එක කෙසේවෙතත්, කොළුවගෙ ජීවිතේ ගැන තවදුරටත් බලාපොරොත්තුවක් නැති කමෙන් උපන් බලවත් සිත් තැවුලත්, නින්ද නැති කමෙන් ඇතිවුණු නිනව්වක් නැති කමත්, තෙහෙට්ටුවත්, හාමතත් නිසා මැහැල්ලට තව දුරටත් ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඉතිං පහුවදා එළිවෙන අතේ මැස්සෙ කෙළවරක හිස තබාගෙන ඉඳගත්වනම ඈට නින්ද ගිහිල්ලා තිබුනා. මේ අතරෙ දාඩිය දාල කොලුවගෙ උණ සම්පුර්ණයෙන්ම බැහැල ඔහුට සනීපෙට නින්දගියා.
පහුවදා හොඳට එළිය වැටුනට පස්සෙයි ඔහු අවදිවුනේ. ඉන් පස්සෙ තමන්ගෙ තමන්ගෙ පපුව ළඟ මැස්සට හේත්තුවෙලා ගොරව-ගොරවා නිදාගෙන ඉන්න මැහැල්ලත් ගේ පුරා ඒ මේ ඇත දුවන ඉත්තෑවත් දැකපු තරුණය තුස්නිම්භූත වෙලා තමන්ට වෙලා තියෙන්නෙ මොකක්දැයි තේරුම් ගන්න උත්සහ කළා. හොඳින් පැහැදිළි නැතත් තමන්ගෙ සිහියත් අවසිහියත් අතරෙ බොහෝ දේ සිද්ධවෙලා තියෙන බවත් තමන් අසරණ වෙච්ච වෙලාවෙ මැහැල්ල තමන්ට බොහෝම උදව්-උපකාර කර ඇති බවත් තරුණයට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.
🏶
~~~~~~~~~~~~~~~~~~~~~~~~

🙗. පුනරුප්පත්තිය
කවදාවත් නොදැනිච්ච බඩගින්නකුත් පිපාසයකුත් බොහොම තදින් දැනුනත් තද නින්දකට වැටිල හිටපු මේ වයසක උන්දැව කූද්දන තරමට හිත එකලස් කර ගන්න අපේ තරුණයට බොහොම වෙලාවක් ගියා. කාත්-කවුරුවත් නැතිව අනුන්ගෙ අත පල්ලෙන් වැටෙන දෙයක් කාල අනුන්ගෙ අගු-පිල්වල ලොකු මහත්වුනු ඔහු කිසිදාක මේ තරම් අසරණ අඩියකට වැටිල තිබුනෙ නෑ. ඒ අතරෙ කෙනෙක් තමන්ට උදව්-උපකාර වුවමණා යැයි සිතන අවස්ථාවට වඩා තමන්ට උදව්-උපකාර අත්‍යාවශ්‍ය අවස්ථාවෙ ඒවා ලැබුනම ප්‍රමාණවත් කියලත් ඔහුට තේරුම් ගියා. තමන් අසරණ වෙලාවෙ තමන්ගෙ ජීවිතේ බේරාගත් මේ මැහැල්ල ගැන අප්‍රමාණ සෙනෙහසක් වගේම ගෞරවයක් ඔහුගෙ හිතෙ පහළවුනා. ඒ කොහොම වුනත් වතුර කළය දැක දැක තවදුරටත් පිපාසය ඉවසගෙන ඉන්න නොහැකිවුණු හින්ද අන්තිමේදි ඔහු මැහැල්ලව කූද්දන්න තීර්ණය කළා.

'අම්මේ මට හරි තිබහයි, බොන්න වතුර ටිකක් දීපන්!' කොළුව බැගෑපත් වුනා.

මැහැල්ල තමන්ගෙ ජීවිතේ අහපු රසවත්ම වචන ටික ඔන්න ඔච්චරයි. ඉතිං ඈ හනික අවදිවෙලා ළමිස්සියක් වගේ බොහොම කඩිසරව දුවල ගිහිං පොල්කට්ටකට වතුර අරන් ඇවිත් තරුණයට පොවන්න පටන්ගත්තා. දරුණු තිබහ නිසා තරුණයගෙ තිබුණු නොසංසුන්කමත්, ඔහු මැස්සෙ වැතිරිලා හිටපු ඉරියව්වත්, ඔහුගෙ උණ බැහැල ඇද්දැයි දැනගන්න මැහැල්ලට තිබුණු ඉස්පාසුවක් නැතිකමත් නිසා තව ටිකක් එහෙ-මෙහෙ වුනානම් ඒ කොළුව බීපු අවසාන වතුර පොල්කට්ට වෙන්න වුනත් හොඳටෝම ඉඩ තිබුනා. කොහොම වුනත් කොළුව වතුර බොන අතරෙ ඔහුගෙ උණ බැහැල ගිහින් ඇතිබව දැනගත්තු මැහැල්ල අප්‍රමාණ ප්‍රීතියට පත්වුණා.


මේ කතන්දරේ එතැනින් අවසාන වුණා කියල හිතන්න එපා!, ඇත්තටම එතැනිනුයි ඒ කතාව පටන්ගත්තෙ...
🏵

🙥 🏵 🏶 🏵 🙧



Thursday, May 7, 2020

ඈ, වෘකයෙක් සහ කතාවක්


🎕ඔන්න ඉස්සර කාලෙ එක්තරා ගමක තරුණ ගැහැණු ළමයෙක් උන්නා. රන්වන් පාට හිසකේ සහ දීප්තිමත් තාරුකා වැනි තියුණු ඇස් ඇති ඈ බොහොම ලස්සණයි. මේ දැරිවිගේ කඩිසරකමත් බුද්ධිමත් කමත් ගැන දැනගත්ත දෙමව්පියෝ තමන්ගෙ දරුවන්ට උපදෙස් දුන්නෙත් මේ දැරිවිගේ විදිහට හැදෙන්න කියල. අහල-පහළ ගම් වල පවා තරුණයො ඇගේ අතගන්න බොහොම ආසාවෙන් හිටියෙ, නමුත් ඈ කිසිම කෙනෙකුට කැමති වුනෙ නෑ.

ඉතිං දවසක් හිමිදිරියෙ ඈ වසුපැටියෙක් බඳින්න කියල ගම්මානය කෙලවරේ වනාන්තරය අයිනේ තියෙන තණ පිට්ටනිය පැත්තට ගියා. පිට්ටනියෙ වනාන්තරයට කිට්ටුවෙන හරියෙදි තවත් කවුරුහරි තමන්ට පසුපසින් සිටින බව ඈට දැනුණා.

Image about girl in wolves by ▽△SarahElHantes▽△
වෘකයෙක්!

"හොඳයි රතු ඇස් ඇති වෘකයො, උඹට මොනවා ඕන වෙලාද?" ඈ  වෘකයාගෙන් ඇහුවා.

"මට හරිම බඩගිනියි! මට මොනවහරි කන්න දීපන්, නැතිනම් මා කරනදේ දනියි!" වෘකයා ඈ බයකරන්නට හැදුවා.

"උඹට බෑ මාව බයකරන්න, නමුත් මා උඹට කරුණාවන්ත වෙන්නම්, උඹට උවමනා මොනවාදැයි කියපන්!" ඈ  වෘකයාට සැර වුනා.

"උඹ නාකි වෘකදෙනකටත් වඩා ඇට්ටරයි!  මට හරිම බඩගිනියි!! මට හරිම බඩගිනියි!!! " වෘකයා වේදනාවෙන් විලාප තැබුවා.

"මේ මොන නාඩගමක්ද?"
"හොඳයි, මා උඹට මේ වසුපැටවා කන්නට දෙන්නම්, දැන් ඉතිං පුංචි පුස් පැටියෙක් වගේ නාඬා ඉඳපන්!" ඈ වෘකයා අස්වැසුවා.

ඊටපස්සේ වෘකයා වසුපැටියාව එක හුස්මට ගිලදම්මා. නමුත් ඊටපස්සෙ ඌ අයෙමත් "මට හරිම බඩගිනියි! මට හරිම බඩගිනියි!!" කියකියා ආයෙත් බෙරිහන් දෙන්න පටන්ගත්තා.

"දැන් ඉතිං උඹට මක්වෙලාද? උඹ හරිම කපටියෙක් හැඩයි" ඈ පුදුමයට පත්වෙලා වෘකයාගෙන් ඇහුවා.

"නිල් ඇස් ඇති පුංචි යකිනියේ , මා දින නවයකින් කිසිවක් කෑවේ නෑ, දිය පොදක් බීවෙ නෑ! නමුත්, මට තවත් දින හතක් මේ වනාන්තරය මැදින් නිල්පාට රූස්ස ගස් ඇති නිම්නය බලා එක හුස්මට දුවන්නට තියෙනවා" වෘකයා කියාගෙන ගියා.

"මොනවා! ඉතිං උඹ නොවරදීම මියයාවී! එක්කෝ හාමතෙන් නැතිනම් තෙහෙට්ටුවෙන්!" ඈ බොහොම විමතියෙනුත් කනගාටුවෙනුත් කිව්වා.

"කියාපං! උඹට තද අසනීපයක්වත්ද?" ඈ වෘකයාගෙන් ඇහුවා.

"මගේ අත්තම්මා අසනීපෙන්, අනාථ දරුවෙක් වුණු මා හදා වඩා ගත්තේ ඇයයි!
ඈ කියන හැටියට, අරපෙනෙන පුදුම හිම කඳු මුදුනේ ඇති පුදුම බෙහෙත් උයනින් රහස් බෙහෙත් නවයක් සහ කෙල්ලකගෙ නැවුම් හදවතක් කල්  තියා නොගෙනාවොත් ඈ සුවකරන්නට නොහැකිවෙයි!"

"ඉතිං කරුණාවන්ත යකිනියේ, කිසිවක් නොකර මනසින් මියයාමට වඩා, උත්සාහ කරද්දී  හැබැහින් මියයාම හොඳ නැතිද? මේ බලාපන්, රහස් බෙහෙත් නවය මා පරිස්සමටත් කදිමටත් රැගෙනවිත් ඇති හැටි!" වෘකයා තමන්ගෙ කොට්ටයක් මෙන් ලොකුවට පිම්බුණු වම් හක්ක පෙන්නුවා. නමුත් නැවුම් හදවත් කොහෙන් හොයන්නද? ඌ තනියම මුමුණන්නට වුණා.

ඉතිං, මේ කතාව අහපු ගැහැණු ළමය බොහොම කණගාටුවට පත්වුණා, නමුත් වෘකයෙක් කොහොමටවත් විශ්වාස කරන්නෙ කොහොමද? "උඹනම් මහ මෝඩ එළදෙනක් තමයි" කියල හැමෝම මට හිනාවෙයි! එහෙම හිතපු ඈ තීරණයක් ගත්තා.

"හොඳයි වෘකයො, උඹ කපටිකම් කරන්න එහෙම  හිතන්නවත් එපා! මාව උඹේ අත්තම්මා ලඟට ගෙනියපන් මා ඈට මගේ හදවත දෙන්නම්!" ඈ කිව්වා.

ඒ කතාව අහවර කරන්නටත් කලින් වෘකයා ඈව කටින් ඩැහැගත්තා. ඊටපස්සේ ඌ කඳු වැටි අතරින් මහා සුළි සුළඟක් වගේ දුවන්නට ගත්තා. ඒ වේගයට විශාල ගස් පවා ඇඹරී ගියා, ඇවිස්සුණු දුහුවිල්ලෙන් කුරුල්ලන්ගෙ ඇස් නොපෙනී ගිහිං ඔවුන්ට කැදලි වලට යන පාර හොයාගන්න බැරිව අතරමං වුණා.

සතුටෙනුත් බලාපොරොත්තුවෙනුත් පිම්බීගිය හදවතක් ඇති වෘකයා දින හතක්ම එකහුස්මට නොනවත්වා දිවගොස් අත්තම්මගෙ ගේ ඉස්සරහදි  මැරී වැටුණා. ඉතිං ගැහැණු ළමයාට බොහොම දුකයි. ඈ බොහොම කණගාටුවෙන් පුදුම බෙහෙත් නවයෙ මල්ලත් අරගෙන අත්තම්මගෙ දොරට තඩිබෑවා. අගුළු දාලා නොතිබුණු දොර හින්සීරුවෙ හැලහොල්මනක් නැතිවම අරුනා.

කෙඳිරිගාමින් හිටිය අත්තම්මගෙ කෙඳිරිය නැවතුනා! ඈ බොහොම විමතියට පත්වුණා!!

"අත්තම්මේ, උඹේ ආදරණීය මුණුපුරා උඹට බෙහෙතුත් හදවතත් වෙලාවට ගෙනාවා නමුත් හාමතත් විඩාවත් නිසා නුඹේ දොරකඩ ළඟ මේ දැන් ඔහු මියගියා. ඔහු ඉතා යහපත් කෙනෙක්. ඉතිං, මා ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කරන්නම්, මට උඹව ජීවත් කරන බෙහෙත හදන හැටි කියාපන්" ගැහැණු ළමයා ඉතාමත් කණගාටුවෙන් වෘකමැහැල්ලට කිව්වා.

"උඹ කරුණාවන්ත හදවතක් ඇති එකියක් බව පේනවා!, නුඹේ හදවත මට පසුව දියන්, දැන් මගෙ පණයන්නට කලින් මා කියන විදිහට හනික බෙහෙත හදාපන්!"  වෘකමැහැල්ල කෙඳිරිගාමින් කිව්වා.

ගැහැණු ළමයා හනික බෙහෙත පිළියෙළ කලා.

"හොඳයි, ඔය බෙහෙතෙන් පණ ලැබෙන්නෙ එක්කෙනෙකුට විතරයි! නුඹ ගැහැණියකගේ හදවත හඳුනනවනෙ, මට නිදහසේ මියැදෙන්න ඇරපන්, ඉතිං ඔය බෙහෙත මගෙ මුණුපුරාට පොවාපන්!" අත්තම්මා ස්ථිර ස්වරයෙන් කියාසිටියා.

ඉතිං, ගැහැණු ළමයා බෙහෙත වෘකයාට පෙව්වා, එත් වෘකයාට පණ ලැබුණේ නෑ. ඊට පස්සෙ ගැහැණු ළමයා වෘකයාව තුරුළු කරගෙන අඬන්න පටන් ගත්තා. ඒ කඳුළු ඇස්වලට වැටිල වෘකයට පණ ආවා. නමුත් වෘකයා තවදුරටත් තිරිසන් වේශයකින් හිටියෙ නෑ. උගේ හදවත සියුමැළි වෙලා මිනිස් වේශයක් ලැබිල තිබුනා.

🎕🎕🎕
🎕🎕
🎕

Friday, July 5, 2019

අම්මට-උඩු!, යුටෝපියානු බුල්ටෝ


අම්මට-උඩු ඇත්ත! ඇත්ත!! දර්මෙ...

සිප වැළඳ ගැනීම් මෙන්ම ගුටි කෙළි ද ජීවිතයේ කොටස් ය. ආදරය, වෛරය, කරුණාව, ක්‍රෝධය, සතුට, දුක ආදී හැඟීම් ඇතිනොවන සමාජයක යමෙකු ජීවත්වන්නට සිහිනදකීනම් ඔහු උම්මත්තකයෙකි, නැතිනම් මන්ද මානසික තත්වයේ පසුවන්නෙකි. මේවා සියල්ලම පාහේ ‘අම්මට උඩු ඇත්ත නේ’ කියා එක පයින් එකඟ වියහැකි කරුණු ය. රැලේ සිටිනා බොහොමයක් ගොනුන් සහ එළදෙනුන් ඔවැනි දෙයක් ඇසූ පමණින් ‘ආ ඕක අර සාදුත් කිව්වා, ඇත්ත තමයි, ඕකනේ අහවල් චක්කරේ කියන්නෙත්, බුද්ධාගම පොතේ තිබුණා යැයි නානාප්‍රකාරයෙන් තප්පුලනු ඇත. යමක් තේරුම් ගැනීමත් යමකට කඩේ යෑමත් අහස පොලොව මෙන් වෙනස් කාරනා ය. සමහරු සිතාසිටින්නේ ආගම සහ ධර්මය යනු සමාන-පද බවය. ඒවා එකිනෙකට බොහෝ සෙයින් වෙනස් තේරුම් ඇති විරුද්ධ-පද බව දකින්නේ කීයෙන් කී දෙනාද.


අපි එදිනෙදා අත්දකින ප්‍රැක්ටිකල් චක්කරේ...
හෙවත් ස-ප්-ර-යි-ස් ... වේදිකාවෙන් මහපොළොවට...
ඇති නැති පරතරය, සම්පත් සමව බෙදී නොයාම, පරිසර දුෂණය, පාංශු ඛාදනය, හැන්ද ඇති එකා නැතිවෙන්න බෙදාගැනීම, බොරදියේ මාළු ඇල්ලීම, හොද්ද පුළු-පුළුවන් හැටියට බොරකර ගැනීම, ඇස් වලට වැළිගැසීම, සුදු නංගි පෙන්නා කළු ආච්චිව දීම, නොංජලයාට එළුවන් නිකට පෑම, ඩීල් දැමීම, හොරකම්, කුපාඩිකම්, වලත්තකම්, රා-කසිප්පු බීම, කුඩු ගැසීම, KG ගැසීම, දඩ ගැසීම, පොලිසියෙන් ගැසීම, පරිප්පු සෙට්වීම, බාල්දි පෙරලීම, කුඩු ගෙන්වීම, එතනෝල් ගෙන්වීම, ගේම් ගැසීම, කැරම් ගැසීම, ක්‍රිකට් ගැසීම, මඩුවලිගෙන් තැලීම, විටකෑම, චුඉංගම් කෑම, කුණුහරුප කීම, ළමා අපචාර, වර්ග දෙකේම දුෂණ, LGBTQabcdefgh...මිඩියා සර්කස්, ආර්ථික ඝාතකයෝ, ගව ඝාතකයෝ, බඩගින්නේ දහදුක් විඳ කරන අමාමහ කැම්පේන් ඉස්මුරුත්තාවටම කාපුඑවුං මහදවල් හයිජැක් කිරීම. ලැම්බෝගිනිගැනීම, ඒ ගින්නෙන් මුදුන්-මල්-කඩ වටා රේස් පැදීම, හැප්පිලා ගිනිගෙන පිච්චිලා මැරීම, චීන විරෝධය, ඇමරිකන් විරෝධය, LSD, ව්‍යාග්රා, විල්පත්තුවේ ඇමසෝන් වනාන්තරය, වඳපෙති, සීස, සීසර්, ක්ළියෝපැට්‍රා ආදී ‘ඔපරේෂන්’මෙන්ම එක අතකින් ළමය එලියට අදින ගමන් අනෙක් අතින් ‘මෙහෙම-මෙහෙම’ කරල බෝංචි කරල් මෙන් කැඩියහැකි පැපලෝපියංලොවෙත්නැති ටියුබ්ලස් ද ලෝක ධර්මතාවයේම කොටස් ය.
83 ජුලි:  ජාතිය සහ ආගම  බේරාගන්නා ආකාරය 

යුටෝපියානු බුල්ටෝ...
සාධාරණ, සම්පත් සමව බෙදෙන, අරයටත් බුල්ටො එකක් තියෙනවනම් මටත් තියෙන, සාමකාමී, පරිසරකාමී, අරකාමී-මේකාමී 'කොයිකත්-සිරා'   'ලොවෙත්-නැති' ලොවක් මෙලොව දී උදාකරගතහැකි යැයි සිතන මන්දමානසික උම්මත්තකයින් සමාජයෙන් බහුතරයයි. ඔවුන් 'හෙට කොන්දොස්තර ඉතුරු රුපියල දේවි' යැයි සදාකාලියව තමාගේ මරණ මංචකය දක්වාම විශ්වාසකරන වර්ගයයි. අවාසනාවකට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී රටක වර්තමානයද අනාගතයද නිර්ණය කරන්නේ ෆැන්ටසිය යථාර්ථයයැයි සිතාසිටින  මේ අසනීපකාරයින්ය. සමාජ ජංජාල, සමාජ රෝග, වෙබ් අඩව්, කැලෑපත්තර ආදී ආහාර ජීර්ණ පද්ධතියේ පහලම කොටස් පිළිවෙලකට මෙහෙයවීමෙන් ඉහත සඳහන් වෘෂභයන් ‘ජහ-ජහ’, ‘ශුප්-ශුප්’, ‘සේ-සේ’,’පූස්-පූස්’, ඉඤූ-ඉඤූ’ හෝ කිරිජ්ජ පල්ලේ කෙවිටවල් ඇනීමෙන් තොරවම ගාල් කිරීම, දැක්කීම, අනුගේ සීනි කිරවා ගැනීම, තමන්ට ආස-ආස වර්ගයේ කොස්ඇට බා ගැනීමට සම්මාදන්කරවා ගැනීම, වලවල් කප්පවා ගැනීම, සියතින් වලවල් කපාගෙන වැළලීම, රෙදි නැතිව කඩේ යෑම,  අතින් වියදම්කරගෙන අනුන්ගේ හරක් බැලීම ආදී එකී-මෙකී-නොකී දහසකුත් දේ පහසුවෙනුත් ස්වකැමත්තෙනුත් කරවා ගත හැකිබව කැම්පේන් කරුවන් ශෝක්-එකට මීටර් කරගෙන ඇත.  දුර්ලභ යැයි කියවෙන මනුෂ්‍ය ජීවිතවල ගැඹුර මස්කටුව විසිකරන විසිකරන පැත්තට දිවීම හා තොප්පි වෙළෙන්දන් අනුකරණය කිරීමෙන් කෙලවරවීම පුදුමාකාර නාස්තියකි. මනුෂ්‍ය ලෝකාවබෝධයේ  මොටකම  හෙවත් තමන් අවට සිද්ධවෙන දේ ගැන හාන්කවිසියක්වත් නොතේරෙන තරමට සමාජ බහුතරය මරිමෝඩ ටියුබ්ලයිට් බව විශ්වාස නොකලහැකි තරම් ය.

සමනල්ලු, සනමල්ලු, සහ ලෑලි කෑලි...
අපි ජීවත්වන්නේ දඹල කා ප්‍රෝටීන් ලබාගත හැකි යැයි ද, නිවිති කා යකඩ ලබාගත හැකි යැයි ද, බිත්තර කෑ විට පව් සිද්ද වෙනවා යැයි ද විශ්වාසකරන සමාජයකය. ජංගියේ බේත් ගෑමෙන් ගෑනුන් වඳකලහැකි යැයි ද, පෙත්තක් බොන්නට දී පිරිමින් වඳ කල හැකි යැයි ද, සිසේරියන් සැත්කමක් අතරතුර 'මේම-මේම' කර 'ටකස් ගා' පැලෝපීය නාල කපාදැමිය හැකි ශල්‍ය වෛද්‍යවරු සිටිනවා යැයි ද විශ්වාසකරන සමාජයකය. එකඅතකට අපේ රට මේ මට්ටමෙන්වත් පවත්වාගන්නට හැකිවීම ගැන අපි පුදුම විය යුතුය.

මිනිසෙකු බුද්ධිමත් වීම අරඹන්නේ තමා තමාගේම මෝඩකම් යම් තරමකින් වත් තේරුම්ගැනීමට උගත්දා ය. උගතුන් යනු තමාගේ නූගත්කම අවබෝධකරගත් මිනිසුන් ය.  දළඹුවෙකු සමනළයෙකු බවට පත්වීම දුෂ්කර අභියෝගාත්මක ක්‍රියාවලියකි, එක්තරා ආශ්චර්යකි. බුද්ධිමත්-අවබෝධයක් ඇති මිනිසුන් තමාගේ මෝඩකම් වලින් නිරතුරුව උගනිති - ඒවා අන් අයට පෙන්වමින් ආභරණ මෙන් පළඳිති. අනෙක් අතට හීන දැනුමක් ඇත්තෝ තම අණුවනකම් තැන-තැන සඟවති. හත්පොලේ ගාගනිති - අනුන්ගේ ද ගාති - පළාතම ගඳ ගස්වති. කලඑළියේ කල ගොන්කම් සැඟවීමට ඇති දුෂ්කරතාව ගල්ගෙඩි මත පහරන ලද බල්ලන්ගෙන් වත් අසා දැනගත යුතුය. 


Friday, March 29, 2019

දෙකේයායට ආවේණික පක්ෂීන්


“ඒවුනාට නැන්දෙ 'ගමේ වැල - ගමේ කපුටන්ට' කියල කියමනක් තියෙනවානේ ද?, ඉතිං ඒම කරන එක හරිද මං අහන්නෙ?” සුගත් අයියා ලෝ-පොයින්ට්ස් දමයි.

මෙතෙක් වෙලා වරින් වර අපේ අම්මාගේත් සුගත් අයියාගේත් මුහුණු වලට එබෙමින්, මේ සංවාදයේ අගමුල ගැටගැහීමට වලිකමින් සිටි මාසෙපෝයටත්  සිල්ගන්නා අත්තම්මාට එවිටනම් මළපැන්නේ ය.

“උඹ ඉඳින් මැණිකෙ” ඈ අම්මාට අණදුන්නාය. අම්මා කරබාගත්තා ය.

“මේ කොළුවො, නෙදකින්, මේ අහපං!” ඇය සුගත් අයියාගේ හදවත පසාරු වනසේ වෙඩිතැබිම ඇරඹුවාය.

ඇගේ කට ස්වයංක්‍රීය ගිණිඅවියකි. එකක් පස්සේ එකක් පිළිවෙලකට ශබ්ද රසයද අර්ථ රසයද කුළුගැන්වුණු හරබර වචන නම් වූ උණ්ඩ වැලකින් සතුරාට පහරදෙයි. වෙඩිමුරයක් නොව වෙඩි වරුසාවකි. සමහරවිට ඈ පැයක් හමාරක් වුවද හර-බර අවි වලින් සතුරාට පහරදෙනු ඇත.

ඒපමණක් නොව හවස් වරුවේ අලවංගුව ඉල්ලාගෙන යන්නට එන සෝමා නැන්දාගේ කණේ, මේක එක-හත කර තබනු ඇත. සෝමා නැන්දා “එක-හත කර තැන තැන කේලං කියනවා” කියා හැමෝම දැන සිටියද කිසිවෙකුත් ඈ කියන දෑ හිතට ගන්නට පෙර හතෙන් බෙදීමට උනන්දු නොවේ. ඉතිං දැන් මෙතැන කුමක් සිදුවුනත් එහි අත්තම්මා ට වාසි සහගත කොටස රසවත් ආකාරයට සංස්කරණය කොට හතලිස් නව ගුණයකින් ගුනකර තනාගත් පොකුරු බෝම්බ, සෝමා නැන්දා ගිය-ගිය තැන අතහරිනු ඇත.

සාමාන්‍ය පොකුරු බෝම්බ වලට විනාශවන්නේ පාපන්දු පිටි කිහිපයක වපසරියක් වුවත් සෝමා නැන්දාගේ පොකුරු බෝම්බ ඡන්ද කොට්ටාස මට්ටේ විනාස කරන දරුණු ඒවාය. සමහරවිට පරම්පරා දෙක-තුනක කාල පරාසයක් ඔස්සේ වුවත් මහා විනාශයක් සිදුවිය හැක. ඇයට ඒගැන වගක් වත් නැත.

අත්තම්මාට දැන් පපුවේ හතිය අල්ලා ඇත. ඇය පපුව අතගාමින් වටය අවසන් කිරීමට සැරසේ...

“වැළ-කපුටන්ට, ගමේ වැල ඔය ඕන හැටියේ තියෙන්නේ, වැළම කාපල්ලා”

“වරක ගැන උඹල වද වෙන්න එපා, වරක කන්නෙ පිළිවෙලක් ඇති එවුන්”

“මේකෙ ඉන්නවද එකෙක්”

“ඒ කාලෙත් නෑ...මේ කාලෙත් නෑ”

අද නෂ්ටාවශේෂ බවට පත්වසිටියද එදා අත්තම්මා ඇහැට කනට පේන්නට සිටිබවට අදත්  සාධක ඇත, ඇගේ පැහැපත් සම ඉන් එකකි. ඇය අදටත් මහවිසේකාර අම්මණ්ඩියකි. තාත්තා කියන කිසිදෙයක් ඇය කනකට නොගනියි. “අම්ම ඉතිං හිතුවක්කාර වෙනවනේ...” කියමින් තාත්තා තොඳොල් වෙන්නේ එවිටය. අත්තම්මා කිරිඅත්තාව බින්න බස්සවාගන්නට ඇත්තේ ඒ කාලෙත් මේ ගමේ 'වැළ-කපුටන්' පමණක් වාසය කල නිසා වියයුතුය. සමහරවිට වැළ-කපුටන් 'දෙකේයායට' ම ආවේණික පක්ෂී විශේෂයක් වියයුතුය. 'වැළ-කපුටන්' කොහෙත්ම ආකර්ශනීය පක්ෂීන් නොවේ, උන් නාවර පෙරාගත් - පාණ්ඩු පාට - කැහුටු - කැත කුරුල්ලන්ය.

අත්තම්මා තර්කාණුකූලය.  සුගත් අයියාඅයියාට පලායාම හැර අන් සරණක් නැත.

“එන්නං කිරිඅම්මෙ!” මෙතෙක් වෙලා 'නෝ හෙල්ලුම් - පොල් මැල්ලුම්' වී සිටි  සුගත් අයියා උපක්‍රමශීලීව පසුබැස්සේ ය. ඔහු මෝඩයෙකු නොවේ.

“එන්නං?” අත්තම්මා තවමත් බෙදයි.

“පලයන්, ගිහිං එක එකාට ගොඩ-පෙරකදෝරුකං කොරකොර ඉන්නැතුව පොතක පතක වැඩක් බලාගනිං”

“මුනිච්චි වෙද්දෙන්කො අපුච්චා!” අත්තම්මා ඉහලට ද පැමිණිලි කරනු ඇත.

ගොඩ-පෙරකදෝරුවාට ලැජ්ජා සිතිනගොඩ-පෙරකදෝරුවා හංදිය දිහාවට ගියේ ය.

සුගත් අයියා එක්දරු පියෙකි, පාසල් ගමන අත්හැර ඇත්තේ මා ඉපදෙන්නටත් පෙර ය. එය මටත්වඩා හොඳට අත්තම්මා දනී. ඇය සමච්චල් කරන්නේ සුගත් අයියාගේ නොමේරූ වැඩපිළිවෙලට ය.

සෙනසුරාදාට කිරිඅම්මා මේක එක-දහය කර පීටර් මාමාගේ කනේ තබනු ඇත. පීටර් මාමා මාසෙපෝයටත් සිල්ගන්නා අහිංසකයෙකි. ඔහු ලෝක විනාසයවත් කනකට ගන්නේ නැත. සෙනසුරාදාට ඔහු අපේ ගේ පැත්තෙ එන්නේ අත්තම්මා බැලීමටය. එදාට අත්තම්මා වේලූ හීල්බත් කොටා, පොල් සහ හකුරු දමා අග්ගලා සාදනු ඇත. සෙම කැපෙනු පිණිස ඇය අග්ගලා වලට ගම්මිරිස් ඩින්ගිත්තක් හැමවිටම එක්කලාය. පීටර් මාමා අග්ගලා මරුවෙකි, තද-කහට ජෝග්ගුවක් සමග දුන්නොත් සීයක්-හමාරක් වුනත් එක හුස්මට ගිලදමනු ඇත.

තම කුසින් බිහිනොකල මුත් අත්තම්මාගේ පළමු දරුවා  පීටර් මාමා ය.  ඔහු උපන් අලුත ඔහුගේ අම්මාට උදව් පදව් කර ඇත්තේ එවකට තරුණ වියේ සිටි අපේ අත්තම්මා ය. දරු උපතින් වසරකට පමණ පසුව නිරන්තරයෙන් අසනීප වෙමින් ඔත්පළව යාන්තමට ජීවත් වෙමින් සිටි ඔහුගේ මව මියගියා ය. ඒ කාලය පුරාම අත්තම්මා නිරන්තරයෙන්  ඔහුට මව වූ අතර ඔහුගේම මව ඔහුට කිරිමවක් පමණක් විය.

පීටර මාමාගේ පියා දෙවන වරට විවාහ නොවීය, එහෙත් කාලය ගතවත්ම ගෙද‍ර-දොරේ වැඩපල කරගෙන සිටි සුසිලාවතී සමඟ එහෙන් මෙහෙන් පවුල් කෑමට පටන්ගත්තේ ය. ඇය තම කුස උපන් දරු දෙදෙනාටත් වඩා මව අහිමි සිඟිත්තාට නිරායාසයෙන් සෙනෙහස පෑවා ය. සෙනෙහස උතුරා ගලන ප්‍රසන්න ගැහැණියක වූ ඇය පිං පාටය. අපි සුදු ආච්චි යැයි කීවේ ඈට ය. දරුවන් කාගෙ වුවත්, ඔවුන්ට රසකැවිලි දී 'නරක්' කිරීමට උපන් හපන් ඇය, ඒ පුරුද්දට තදින්ම ඇබ්බැහි වී සිටි අතර අප ඈ දෙන රසකැවිලි ඉවක් බවක් නැතිව ගිලදැමීමට ඇබ්බැහි වී සිටියෙමු. කිරිදානයකට සහභාගී වීම, පසළොස්වක පෝයට සිල් ගැනීම, සහ ඔලුවේ උකුණන් බැලීම යන බරපතලම කාරනා වලදී සුදු ආච්චිගෙන් මෙහා කෙනෙක් ගැන අපේ අත්තම්මා තුන් හිතකින් වත් නොසිතී ය. ඔවුන් අඹ යහළුවන් ය.

අවසාන වශයෙන් මා කාරනා තුනක් පාඨකයාට මතක් කල යුතුය. එකක් පීටර මාමාගේ එකම දරුවා සුගත් අයියා බව ය. අනෙක සුගත් අයියා යහළුවා වෙනුවෙන් පටන්ගත් කපු රස්සාව ලද තැනම ලොප් වී ඇති බව ය. අවසාන එක අපේ අක්කාගේ දහඅට වන උපන්දිනය වෙනුවෙන් ලබන මාසයේ බෝධිපුජාවක් කිරීමට අත්තම්මා ප්ලෑනක් ගසා ඇති බව ය.

Saturday, March 23, 2019

ගුරු ගීතය


මා පාසල ඇරී වෙනදා පරිදිම කුඩා ගල්කැට වලට පයින් ගසමින් ගෙදර එමින් සිටියෙමි. කවදාවත් නැතිව තාත්තා, ගෙදරට යන පාරත් ප්‍රථමික විද්‍යාලයත් අතර පාරේදී මට මුණගැසිනි. “ගෙදර යනකොට පරිස්සමෙන්!,  අද පාරෙ ගස් කපනවා” තාත්තා අණක් නිකුත් කළේය. පාසලත් ගෙදරත් අතර දුර සැතපුම් කාලක් වත් නැත. කපන්නට තරම් ගස් ද ඒ පාරේ නැත. පාරක් කිව්වට එක පාරක් ද නොවේ, ලන්දක් මැදින් දිවයන අඩිපාරකි. බෙදා වෙන්කළ ඉඩම් වල් වැදී තිබිණ. ඉඩම්වලට පාරක් වෙන්කර තිබුනත් එයට තාර දමා නොතිබුණි. වරින්වර ගමන්කළ වාහන නිසා තණකොළ මැරී එකිනෙකට සමාන්තර අඩි පාරවල් දෙකක් සෑදී තිබිණ. ඕනෑ කෙනෙකුට තමන් කැමති පාරක් තෝරාගැනීමේ නිදහස තිබිණි. මම හැමවිටම දකුණු අත පැත්තේ අඩිපාර තෝරාගතිමි, එයට හේතුවක් මා දැනසිටියේ නැත.


මම විවිධාකාර බහුබූත කල්පනාකරමින් අපේ නිවෙස අසල කඳුගැටය අසලටම පැමිණියෙමි. පාර ඒ කුඩා කඳුගැටය වටා ගමනකළේය. කඳුගැටය මුදුනෙ එක හා සමාන රූස්ස ගස් යුවලකි. මද සුලඟකටත් ඔවුන් යෝධ අත් පා පද්දමින් ඒ මේ අත වැනුනාහ. ඔවුන් අතරින් හමායන සුළඟ ඊට සරිලන ගැඹුරු පිරිමි හඬික් නැගීය. සමහරවිටෙක නිර්භීත කුඩා කුරුල්ලෙක් දෙන්නෙක් මේ යෝධ ගස්වල අතුපතර අතර සැඟව සියුම් හඬින් ගැයීය.

සමහර දිනයක හවස් වරුවේ මම මේ ගස් අවට බූටෑවේ ඇවිදින්නට යමි. ඉදුණු ඇඹුල් පේර ද, දං හා හිඹුටු පඳුරු ද ඇති තැන් මා අතැඹුල සේ දැන උන්නෙමි. මගේ ගමන හැමදාම කෙලවර වන්නේ මේ විසාල  පොප්ලර් ගස් දෙක අතර ඇති පේර පඳුරෙනි.  කිසියම් අහේතුවකට ඒ ගසේ පේර අලගෙඩි මෙන් විසාල වූ නමුත් ලා කහ පාටට හොඳින් ඉදුණු ගෙඩි පවා දෙහි ගෙඩි මෙන් ඇඹුල් රස විය. කුරුල්ලන් මේ ගසට අතතබන්නට මැලිවන්නට ඇත්තේ ඒ නිසා වියයුතුය. මම සාමාන්‍යයෙන් එතැන සිට පෙර ගෙඩියක් හපමින් ද මදුරුවන් තලමින් ද එක් එක් පොප්ලර් ගස දෙස බලා “මේ ගස් කවුරුන්  හිටවන්නට ඇත්ද?” යි සිතමි. ඒ ගස් වලට යාබදව අසාමාන්‍ය ලෙස මට්ටම් වූ බිමකි, දිනක්‌ එහි තිබී චතුරශ්‍රාකාර රිදී පැහැති ලෝහ කැබලි දෙකක් හමුවිය. එදින හවස්වරුවේ මම ඒවා සෝදා පිරිසිදුකරගෙන පොඩිකරගත් ඇඹුල්වැන්න කොල අතුල්ලා දිස්නය ගස්වාගෙන ජයසේන බාසුන්නැහේට පෙන්වූයෙමි. ඒවා දුටු සැනින් විමතියට පත්වූ ඔහු, කක්කුට්ටෙකු මෙන් විසාල බෝල ඇස්ගෙඩි තට්ටය මුදුනේ නංවාගෙන “හොහෙන් දෑ මේවා, මේ ඉස්සරෝම රේඩිඑකට දාපු බැට්ටි කෑල්ලක කෑලි නේ!” යැයි කීය. මා කිසිදාක චතුරශ්‍රාකාර පැතලි වියලිකෝෂ දැකතිබුනේ නැත, එසේ ඇති බවට අදහන්නට සුදානම් ව සිටියේද නැත. ඉතිං මේ කතාබහින්, බාසුන්නැහේට පිස්සු තදවී ඇතිබව පමණක් මම තහවුරු කර ගතිමි. පසුකලෙක අහම්බෙන් අම්මාට හසුවූ ඒ ලෝහ කැබලි ඇය පහසුවෙන් හඳුනා ගත්තාය. බාසුන්නැහේට ඇති පිස්සුවක් නැත, ඒවා පරණ වියලිකෝෂ වල කොටස්ය. සමහරවිට පොප්ලර් ගස් වලට යාබද තැනිිබිමේ කවුරුන් හෝ ජීවත් වන්නට ඇත. සමහරවිට ඔවුන් පෝප්ලර් ගස්  රෝපණය කළා වෙන්නටත් හැකිය...



Wednesday, September 19, 2018

ගඳපාන මල් කිනිති - 02

වෙනස්වීම ඇරඹේන්නේ වෙනස් කිරීමත් සමගය. සමනළ තටුවක ගැස්ම යමදිනක අත්ලාන්තික් සාගරයේ මහා කුණාටුවක් ඇතිකිරීමට සමත්වනු ඇත. ඉතිං මම අද මල් බිම නොදමමි. වමතින් මල් මෘදුව ගුලිකරගෙන සිත සමග පොරබදමින් නොනවත්වා ගමන්කරමි.

ලන්ද අවසානයේදී කිටිකිටියේ වල් වැවුණු අඩිපාර ද අවසන්වේ. ඉන්පසු මා අඩි අටක් දහයක් පමණ පළල අලුත කැපූ පස් පාරට අවතීර්ණවෙමි. අලුත් වැස්සට පෙඟුණු සැහැල්ලු පසේ හරක් රංචුව ඇවිද ගොස් ඇත. ඔවුන්ගේ කුරවලට පෑගී තැන් තැන් වල වැහි වතුර පිරී ඇත. මේ මං දන්නා කියන හරකුන් ය. උන් පස් හයදෙනා මම වෙන් වෙන්ව හඳුනමි. ගවයින්ගේ අයිතිකරුවන් මගේ මාපියන් දැන හඳුනන අය වෙති. ඔවුන්ගේ දරුවන් මා දන්නා හඳුනන අය වුවද මිතුරන් නොවෙති. දැන හැඳිනීමත් මිතුරුකමත් අතර සලකියුතු වෙනසක් ඇත.

මා කුඩා කල සිට මේ ගවයින් ලන්දේ දී දුටුවිට හෝ අපේ වත්තට ආ විට විසාල බාල්දියක දමා වතුර බොන්නට දෙමි. විටෙක එකෙකු එක හුස්මට වතුර බාල්දියෙන් අඩක්ම බොයි. ඉන්පසු හිස ඔසවා මා දෙස සැකයෙන් බලයි. නැවත හිස සම්පුර්ණයෙන්මවාගේ බාල්දියේ ඔබාගෙන ඉතිරියත් බොයි. එවිට මගේ සිත ‘දාරක’ ප්‍රීතියෙන් පිරී පිම්ඹීයයි. මා බාල්දිය නැවත නැවත පුරවමි, ඒ දියෙන් නොව මගේ සතුටෙනි. ඒ අතර විටෙක හනික බිඳගත් මයියොක්කා අත්තක් හෝ දඩස් අත්තක් උන්ගේ හොඹු ඉදිරියෙන් අල්ලමි. නිරන්තරයෙන් වාෂ්ප පිඹින විශාල තෙත නාසාපූට දෙසත් රවුමට කරකවා අතුකැබලි අල්ලාගතහැකි  උන්ගේ දම්පාට දිවවල් දෙසත් මහත් භීතියෙන් බලාසිටිමි.

මා මේ සතුන්ට කෑම බීම දුන්නේ කොහෙත්ම උන්ගේ අසරණ කම නිසා උපන් අනුකම්පාව, කරුණාව, හෝ මෙළොව-පරළොව සියළු සැප කෙළවර අමාමහ නිවන් ෂෝර්ට්-කට් එකකින් ලඟාකරගනු පිණිස පිං සලකා නොවේ. ඒ හුදෙක් තිරිසන් සතුන් දැකීමත් උන් මට කීකරුව මා දෙන දේ කෑමත් බීමත් මා ඒ අවස්ථාවේදී ම සතුටට පත්කල නිසාම පමණි.  ඉඳහිට උන්ගෙන් එකෙකු මට අනින්ට තැත්කල විට හෝ මා එසේ සැකකලවිට, නොවලහා ගල් මුල් හෝ අතට හසුවුණු දෙයකින් පහරදී උන් එලවා ගැනීම මගේ සිරිතයි. එවන් අවස්ථාවලදී අහසේ පාවීයන ගල් මුල් උන්ගේ බඳේ වැදී නැගෙන බොල් හඬින් මා ඉමහත් තෘප්තියට පත්වෙමි. අසීමිත ආදරයක්, කරුණාවක්, හෝ ඉවසීමක් පෑමෙන් හරක්ටික ‘නරක්කරන්නට’ මට කොහෙත්ම වුවමනාවක් නැත. ඉතිං මා  ඉඳහිටවත් පෙණය පුප්පමි. අපේ සබඳකම් වලින් දෙපාර්ශවයටම යම්තරමකටවත් සුගතියක් හෝ ප්‍රතිලාභයක් තිබිය යුතුය.



ඉතිරිය පසුව කියමි...
හරිත



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කතාවකට තේරුමක් තිබියයුතුයැයි උගන්වා තිබුනද කිසිම කතාවක තේරුමක් ඇතැයි මා විශ්වාස නොකරමි. හැපී බිඳී බුබුළු නංවමින් පහළින් පහළටම ස්වභාවිකව ගලායන දියපහරකට තේරුමක් තිබීමේ අවශ්‍යතාව කුමක්ද?. එහි ගැබ්ව ඇත්තේ වින්දනය කළහැකි හෝ  විඳවියහැකි විඳීම ම පමණි. ඉතිං තේරුමක් ඇතත් නැතත් මේ කතාවද මහ පොලොව මතින් නිරතුරුව වෙනස්වෙමින් ගලන දියපහරක් සේ නිරන්තරයෙන් එකිනෙකට වෙනස් හැඟීම් උපදවමින්  කාලය මතින් ගලායනු ඇත.


[හරිත,
ගඳපාන මල් කිණිති,
සහ දිනිති]

Friday, September 14, 2018

ගඳපාන මල් කිනිති - 01


ගෙදර සිට පුස්තකාලයට යන කෙටි පාර දෙපැත්තේ උසට වල් වැවී ඇත. තැන තැන එරමිනියා කටු පඳුරුය. ඒවා දම්පාට කුඩා ගෙඩි වලින් පිරී ඇත. කිහිප වර්ගයක කුඩා කුරුල්ලන් රණ්ඩු කරමින් තරඟයට ඒවා කති. ඔවුන් ඉන් බොහෝසේ සතුටට ද තෘප්තියට ද  පත්වෙතැයි මම සිතමි. කෙනෙකු තුන්හිතකින් වත් කෑ හැකියැයි නොසිතන මේ කුඩා ගෙඩි විටෙක දෙකක මා ද රසබලා ඇත්තෙමි. එකල කුඩා මා එයින් සතුටට පත්නොවුව ද, වැර-වෑයමින් මට ඒවා කන්නට පෙලඹවූ මගේ කුඩා මිතුරියගේ සතුට මා බෙහෙවින් සතුටට පත්කළේය. මේ කුඩා ගෙඩි වටා මහත්වූ ප්‍රසන්න මතකයක් මට ඇත. අප අතර ඝන බූටෑවක් නොවන්නට මමද කුරුල්ලන්ට එකතුවෙමි, සතුට බෙදාගනිමි. සතුට බෙදාගත්කල ගුණ වේ.

ගඳපාන මල් යායට පිපීඇත දම්පාට, තැඹිලි පාට, සහ කහපාට මල් අතර ඒ පාටවල් කවලම් වුණු මල් ද ඇත මෙතන මල් කොපමණ ඇත්ද?, මම සිතමි. පොකුරක මල් පනකක් හැටක් ඇතොත් පොකුරු සියගණනක් පිපුණු ගසක මල් දහස් ගණනකි, පඳුරු දහස් ගණනක් මෙතන තිබිය යුතුය. එසේ සිතන කල මල් කොටි ගණනක් වෙන්නටත් හැකිය. සමහර දිනෙක කුඩා අප ලන්ද හාස්පස දුවමින් පොදියක් මෙන් හැදෙන්නට පහළ කොනෙන් අල්ලා උස්සාගත් ටීෂර්ට් වලට මේ මල් එකතුකලෙමු. ඒ අතරතුර තැන තැන හමුවූ දං සහ ඇඹුල් පේර පඳුරු නිරන්තරයෙන් අපට කෘතඥපුර්වකව පළතුරු ගෙඩියක් දෙකක් දුන්හ. ලන්ද ද අප මෙන්ම වැඩිවියට පැමිණ ඇත. එකල කුඩා අපට මෙන් අද වැඩිහිටි අපට ලන්ද පුරා රිසිසේ නිදහසේ ඒ මේ අත දිවයන්නට මේ පඳුරු අතර තවදුරටත් ඉඩක් නැත.

  මම මේවා එකිනෙක සිතමින් වේගයෙන් ඇවිද යන අතර අතපසුවීමෙන් විටක වල් පඳුරු අතරට ලංවෙමි. සැනෙකින් මගේ කකුල බදාගන්නේ 'ආදර-කටු' වැල්ය. වක්වූ කටුසහිත මේ වැල් අස්සක් මුල්ලක් නෑර වැවී ඇත. කටු වැල මගේ පාදයෙන් මිදෙන්නේ කැඩුණු කටු, කැඩුණු සම, සිරීම්, ලේ බිඳු, සහ වේදනාව ඉතිරි කරමිනි. වල් වර්ගයක් වන මේ ආදර-කටු වැල් අපේ කැමැත්ත අකමැත්ත නොවිමසමින්  නිසරුම බිමක වුවත් සරුවට වැවේ. 'මේකටම කියාපු නම', කටුවැලේ ස්වභාවය සහ දී ඇති නමේ අපුර්ව ගැලපීම ගැන මම පුදුම වෙමි. මෙසේ විවිධාකාර දේවල් සිතමින් ඇවිද යන අතර හැමදාම මෙන් අදත් ලස්සන ගඳපාන මල් අහුරක් මිටමොලවා ගත්තෙමි. වෙනදා ට මා ඇවිද යන අතරතුර මිටින් ගත් මල් එකින් එක බිම දමමි. හැමවිටම මා පසුකරගෙන ගොස් බිම වැටෙන ඒවා දෙස බලා  මා අපමණ තෘප්තියට පත්වෙමි.

පොකුරෙන් වෙන්කරගෙන වමතට ගත් අහුරෙන් කුඩා මල් කිහිපයක් දකුණතේ අල්ල මතට එකින් එක  දමමි. කුඩාකල මෙන්ම අද ද මා ඒවා දෙස ඇස් දල්වා බලමි. තනිපාට මෙන්ම පාට කලවංවූ මල් කීයක් ඇත්දැයි මම ගනිමි. අච්චුවකින් තැනූ ප්ලාස්ටික් මල් මෙන් පෙනෙන, දීප්තිමත් පාට ඇති කුඩා තනි මල් වලට වෙන් වෙන්ව මා වශී වෙමි. වෙනදා මෙන්ම අද ද මා මේ මල් එකින් එක බිම දැමිය යුතුය. එවිට මගේ සුරතින් මිදීයන මල් සුළගේ පාවී  මා පසුකරයන අයුරු මා සිතින් මවාගෙන රසවිඳිමි. සමහරවිට අද මගේ ජීවිත කාලයම රසවිඳිය හැකිවන රටාවකට මගේ අතින් ගිලිහීයන කුඩා මල් පතිතවනු ඇත...


හරිත


ඊටපස්සේ...
ගඳපාන මල් කිනිති - 02


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

[හරිත,
ගඳපාන මල් කිණිති,
සහ දිනිති]